මෙවර එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන තෙවැනි තරගය අද (07දා) පාකිස්තානු කණ්ඩායම සමග බ්‍රිස්ටල් හිදී පැවැත්වේ. මේ දක්වා තරග දෙකකට මුහුණ දී එක් තරගය බැගින් ජයගෙන එක් තරගයක් පරාජයට පත්ව සිටින පාකිස්තානය සහ ශ්‍රී ලංකාව තරගාවලියේ තමන් සහභාගි වන තෙවැනි තරගය මෙයයි. කෙසේ වෙතත් දළ ලකුණු ලබා ගැනීමේ වේගය අනුව පාකිස්තානයට සාපේක්ෂව ප්‍රසාද ලකුණු සටහනේ එක් ස්ථානයක් ඉහළින් පසුවන අතර අද තරගය ජය ගන්නා කණ්ඩායමට ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ගමන් කිරීමේ අවස්ථාව හිමිවේ.
මේ දිනවල එංගලන්තයට බල පැවැත්වෙන කාලගුණික තත්ත්වය දෙස අවධානය යොමු කිරීමේදී හෙට දිනය පුරා බ්රිස්ටල්වලට විටින් විට වර්ෂාව පතිත වීමට තිබෙන අවස්ථාව ඉහළය. තවද දිනය පුරාම අහස වළාකුළින් බරවීමටද හැකියාව ඇත. දේශගුණය එසේ වුවහොත් දෙපිලේම වේග පන්දු යවන්නන්ට වැඩි දක්ෂතා දැක්වීමට අවස්ථාවක් පවතී.
එහෙත් කාලගුණයේ බලපෑමක් නොමැති වුවහොත් බ්‍රිස්ටල් තණිතිල්ල යනු විශාල ලකුණු සංඛ්‍යාවක් රැස්කළ හැකි තණතිල්ලකි. මෙවර ලෝක කුසලාන තරගාවලියේ බ.ඉ.කොදෙව් කණ්ඩායම මුහුණදුන් සිය දෙවැනි පුහුණු තරගයේදී ලකුණු 421ක් රැස් කළේද මෙම තණතීරුවේදීමය. එමෙන්ම පසුගිය මාස තුන ඇතුළත බ්‍රිස්ටල් තණතීරුවේදී ලකුණු 350 ඉක්මවා රැස් කළ අවස්ථාද තුනක්ද පවතී. එබැවින් බ්‍රිස්ටල් පිටිය පිතිකරුවන්ට වැඩි සහායක් දක්වන තණතිල්ලක් බව අමුතුවෙන් කිව යුතු නැත.
ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදුන් දෙවැනි තරගයේදී ආරම්භක පිතිකරුවන් සාර්ථක ආරම්භයක් ලබා දුන්නද සෙසු පිතිකරුවන්ගේ දුර්වල ක්‍රීඩා විලාසය නිසා එය විශාල ලකුණු සංඛ්‍යාවක් දක්වා රැගෙන යෑමට නොහැකි විණ. ඉදිරි තරගවලදීද ශ්‍රී ලංකා පිතිකරුවන් එපරිද්දෙන් දුර්වල වුවහොත් කණ්ඩායමක් ලෙස ඉදිරියට යෑම අපහසු වනු නිසැකය. මන්ද සෙසු සියලුම කණ්ඩායම් ඇෆ්ගනිස්තානු කණ්ඩායම මෙන් පන්දුවට පහරදෙනු ඇතැයි කිසිසේත්ම විශ්වාස කළ නොහැකිය.
පාකිස්තානු කණ්ඩායමේ වේග පන්දු යවන්නන් ඉතා හොඳින් මේ අවස්ථාවේ පන්දු යවමින් සිටින අතර ළහිරු තිරිමාන්න අංක තුන පිතිකරුවා ලෙස යොදා ගැනීම ගැටලුවකි. තවද ළහිරු පන්දුවට පහර දෙන අයුරු හොඳින් අධ්‍යයනය කරන්නේ නම්, ඔහුගේ ශරීරයෙන් ඉවතට ඇදී යන පන්දුවලට බිම දිගේ ඇදී යන ලෙස පන්දුවට පහර දීමට ඔහුට තවමත් නිසි ලෙස හැකියාව ලැබී නොමැති බව පෙනේ.
එහෙයින් නව පන්දුවේ පැහැය සහ දෝලනය වැඩි බැවින් ළහිරු දැවී යාමට ඇති ඉඩකඩ වැඩිය. එබැවින් ඔහු පසු පෙළ පිතිකරුවෙකු ලෙස යෝදා ගැනීම ප්‍රතිඵලදායක විය හැක. කෙසේ වෙතත් අවිශ්ක ප්‍රනාන්දුගේ ආබාධය සුවවී ඇත්නම් ළහිරු වෙනුවට ඔහුව කණ්ඩායමට කැඳවීම වඩා ප්‍රතිඵලදායකය. එහෙත් ළහිරු කණ්ඩායමේ රඳවා ගනිමින් වේග පන්දු යවන්නෙකු වෙනුවට පිතිකරුවෙකු කණ්ඩායමට කැඳවිය හැකිය. මන්ද පිතිකරුවන් පසුගිය තරග දෙකේදීම අසාර්ථක වූ බැවිනි. එසේ වුවහොත් සුරංග ලක්මාල්ට කණ්ඩායමේ ස්ථානය අහිමිවීමට අවස්ථාවක් පවතී. එහෙත් අප විශ්වාස කරන්නේ සුරංග ලක්මාල් කණ්ඩායමේ සිටිය යුතු බවයි.