අන්තර් සමාජ පළමුපෙළ ක්‍රිකට් තරගාවලියේ (තෙදින) සුපිරි අටදෙනාගේ වටයේ පැවති තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (11දා) දිනයේ ඇන්ජලෝ මැතිව්ස්ගේ ඉනිම කැපී පෙනුණු අතර, ඔහු සැරසන්ස් කණ්ඩායමට එරෙහිව පන්දු 262කට මුහුණදෙමින් නොදැවී ලකුණු 173ක් රැස්කිරීමට සමත් විය. පෙරේදා දිනට තරගය නතර කරන විට ඔහු ලකුණු 80ක් රැස් කරගෙන සිටියේය.
කෝවිඩ්-19 වෛරසය හේතුවෙන් මෙහි තරග කල් දමා තිබූ අතර, එම බලපෑම අවම වූ පසු පෙරේදා (10දා) නැවත තරග ආරම්භ විය. ක්‍රීඩා අමාත්‍යාංශය, සෞඛ්‍ය අංශය සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් හඳුන්වා දෙන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශ උපදෙස් මාලාවක් යටතේ මෙම තරග පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. අද (12දා) තරගාවලියේ අවසන් දිනයයි.
හලාවත මේරියන්ස් -බී.ආර්.සී.
හලාවත මේරියන්ස් සහ බී.ආර්.සී. කණ්ඩායම් අතර කොළඹ සී.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ දිනය නිමාවන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි මේරියන්ස් කණ්ඩායම කඩුලු 06ක් දැවී ලකුණු 356ක් රැස්කරගෙන සිටියේය. ඒ අනුව ඔවුන් බී.ආර්.සී. පළමු ඉනිමට වඩා ලකුණු 467ක් ඉදිරියෙන් සිටියි. හලාවත කණ්ඩායම වෙනුවෙන් කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 136 ක් රැස් කරගෙන සිටියි.
මෙහි පළමුව පන්දුවට පහරදුන් මේරියන්ස් කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 195/10 (පන්දුවාර 47.2) රැස් කළ අතර, ඊට පිළිතුරු ලෙස බී.ආර්.සී. කණ්ඩායමට රැස් කළ හැකිවූයේ ලකුණු 87/10 (පන්දුවාර 34.2)ක් පමණි. මේරියන්ස් වෙනුවෙන් අසිත ප්‍රනාන්දු (4/42), තික්ෂිල ද සිල්වා (3/13) හා නිමේෂ් විමුක්ති (3/6) පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වූහ.
සී.සී.සී. - රාගම
කටුනායක නිදහස් වෙළෙඳ කලාප ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන සී.සී.සී. - රාගම තරගයේ සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන රාගම කණ්ඩායම කඩුලු 02ක් දැවී ලකුණු 04ක් ලබා ගනිමින් අසීරු තත්ත්වයේ පසුවේ.
මේ අනුව ඔවුන් ඉනිමක පරාජයෙන් බේරීම සඳහා තවත් ලකුණු 363ක් පසුපසින් සිටියි.
මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් සී.සී.සී. කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 499/7 (පන්දුවාර 117) රැස් කර ඉනිම අත්හිටුවීය. සී.සී.සී. ඉනිම ඔසවා තැබූ නායක කුසල් මෙන්ඩිස් ලකුණු 139ක් රැස් කළ අතර, වනිඳු හසරංග හා මිනෝද් භානුක ලකුණු 88 බැගින් රැස් කළහ. කෙසේ වෙතත් රාගම කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 132කට සීමා වූ අතර දක්ෂ පන්දු යැවීමක නිරත වූ මලින්ද පුෂ්පකුමාර සී.සී.සී. වෙනුවෙන් කඩුලු 04ක් දවාලීය.
කෝල්ට්ස් - සැරසන්ස්
කෝල්ට්ස් කණ්ඩායම හා සැරසන්ස් කණ්ඩායම අතර තරගය කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, ඊයේ (11දා) දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සැරසන්ස් කණ්ඩායම කඩුලු 03ක් දැවී ලකුණු 113ක් රැස් කරගෙන සිටියේය.
මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් කෝල්ට්ස් කණ්ඩායම ලකුණු 408/6 (පන්දුවාර 128.2)ක් රැස් කර ඉනිම අත්හිටුවීය. කෝල්ට්ස් ඉනිම ඔසවා තැබූ ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී 173) සහ සන්තුෂ් ගුණතිලක (100) ශතක ඉනිම් ගොඩනැගූහ.
යුද හමුදා - එන්.සී.සී.
යුද හමුදා කණ්ඩායම හා එන්.සී.සී. කණ්ඩායම අතර තරගය කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, ඊයේ (11දා) දිනට තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එන්.සී.සී. කණ්ඩායම කඩුලු 06ක් දැවී ලකුණු 326ක් රැස් කරගෙන සිටියේය. එහිදී උපුල් තරංග (121) හා ළහිරු උදාර (105) ශතක වාර්තා කිරීමට සමත් වූහ.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් යුද හමුදා කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 269/10 (පන්දුවාර 84.1)ක් රැස් කිරීමට සමත් විය. ජනිත් සිල්වා (54) හා නායක අසේල ගුණරත්න (50) අර්ධ ශතක රැස් කරමින් දක්ෂතා දැක්වූහ.