ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවැත්වෙන 18 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ 05 වැනි දිනය වනවිට (ඊයේ ප.ව. 6.00 වනවිට) පදක්කම් සටහනේ ශතක කඩඉම පසුකිරීමට චීනය සමත්ව සිටියේය. මෙහිදී චීනය රන් පදක්කම් 116ක් ජයග්‍රහණය කර සිටි අතර, එම සංඛ්‍යාවෙන් අර්ධ සීමාවක් හෝ පසුකිරීමට දෙවැනි ස්ථානයේ රැඳී සිටින ජපානයට (රන් 25) නොහැකි වී තිබේ. මෙම සටහනේ තෙවැනි ස්ථානය දකුණු කොරියාවට (රන් 15) හිමිව තිබුණි.
ශ්‍රී ලංකා වාර්තා අතරට එක්වූ මැතිව්
ඊයේ (23දා) පැවති තරග ඉසව් අතරින් ශ්‍රී ලංකාවට මීටර 100 නිදහස් ආර ඉසව්වෙන් මැතිව් අබේසිංහ යම් බලාපොරොත්තුවක් රැගෙන ආවද, එම ඉසව්වේ ඊයේ සන්ධ්‍යාවේම පැවති අවසන් තරගයේදී ඔහුට 06 වැනි ස්ථානයෙන් සෑහීමට සිදුවිය. මෙහිදී තරගය අවසන් කිරීම සඳහා මැතිව් තත්. 49.28ක දක්ෂතාවක් දැක්වූ අතර, ඔහුට අවම වශයෙන් ලෝකඩ පදක්කම හෝ දිනාගැනීමට තත්. 48.88ක කාලයක් වාර්තාකළ යුතු විය.
කෙසේ නමුත් මැතිව්ට පදක්කමක් දිනාගැනීමට නොහැකි වුවත්, ඔහුගේ මෙම දක්ෂතාව සැලකෙන්නේ ආසියානු ක්‍රීඩා උළෙලක පිහිනුම් ඉසව්වකින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු අවසන් මහා තරගයක් ක්‍රීඩාකළ පළමු අවස්ථාව ලෙසයි.
මෙහි මූලික වටයේ ඊයේ (23දා) උදෑසන පැවති සිවුවැනි තරගයට (Heat 4) සහභාගි වූ මැතිව්, තත්. 49.48කින් තරගය අවසන් කර තෙවැනි ස්ථානය හිමිකර ගනිමින් අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේය. මෙම ඉසව්වේ තෙවැනි මූලික තරගයට (Heat 3) සහභාගි වූ මැතිව්ගේ සොයුරු කයිල් අබේසිංහද තෙවැනි ස්ථානය දිනාගත්තද, ඔහු වාර්ථා කළ කාලය අනුව අවසන් තරගයේ ස්ථානයක් වෙන්කර ගැනීමට නොහැකි විය.
මීටර 50 සමනළ ආර ඉසව්වේ මූලික තරගයට සහභාගි වූ අකලංක පීරිස් එම ඉසව්වේ තෙවැනි මූලික තරගය තත්. 25.20කින් අවසන් කර දෙවැනියා ලෙස තරගය අවසන් කළේය. කෙසේ නමුත් ඔහු වාර්තාකළ කාලය අනුව අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි විය. මෙම ඉසව්වේම සිවුවැනි මූලික තරගයට (Heat 4) සහභාගි වූ චෙරාන් ද සිල්වාට හිමිවූයේ එහි අවසන් (08) (තත්. 25.36) ස්ථානයි.
මීට අමතරව ඊයේ පැවති මීටර 200 පසුපස ආර මූලික තරගයට (Heat 4) සහභාගි වූ අකලංක පීරිස්ට හිමිවූයේ 06 වැනි ස්ථානයයි.
සචින් හා බුවනෙක් බැඩ්මින්ටන් ගෞරවය බේරාගනියි
බැඩ්මින්ටන් මිශ්‍ර යුගල 32නාගේ වටයේ තරගයට සහභාගි වූ ශ්‍රී ලංකාවේ සචින් ඩයස් හා තිළිණි හෙන්දහේවාට වියට්නාම ක්‍රීඩක යුගලය හමුවේ තරග 2-1කින් පරාජයවීමට සිදුවිය. ඩු ටුආන් හා පාම් නු තාඕ දෙදෙනා වියට්නාමය නියෝජනය කරමින් තරග වැදුණු අතර, ඔවුන් දෙදෙනා පළමු වටය ශ්‍රී ලංකාව හමුවේ 21/13ක් ලෙස පරාජය වුවද, අනෙකුත් වට ද්විත්වය 21/12 හා 21/13ක් ලෙස ජයගත්හ.
මීට අතරව ඊයේ පැවති කේවල කාන්තා 32 දෙනාගේ වටයේ තරගයකින් සෞදි අරාබියේ අල්මුතායිරි ෂතා පරාජය කර තරග වට 2-0ක ජයක් ලැබීමට ශ්‍රී ලංකාවේ කවිඳි සිරිමාන්නගේ සමත්විය. 21/4, 21/4ක් ලෙස මෙහිදී කවිදි සිය ඉසව්ව ජයගත්තාය. කේවල කාන්තා තවත් තරගයකින් ඉන්දුනීසියාවේ ෆිට්රියානි ෆිට්රියානි හමුවේ 21/6, 21/4ක් ලෙස පරාජය වීමට තිළිණි හෙන්දහේවාට සිදුවිය.
බුවනෙක ගුණතිලක හා සචින් ඩයස් සහභාගි වූ 32නාගේ වටයේ යුගල තරගයෙන් මැකාවෝ රාජ්‍යයේ චේ පුයි හා පැන්ග් ෆොන්ග් තරග වට 2-0කින් පරාජය කිරීමට සමත්වූහ. මෙහි ලකුණු තත්ත්වය දැක්වූයේ 21/11 හා 21/08ක් ලෙසිනි. ඒ අනුව මෙහි අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගත් ඔවුන් දෙදෙනා හෙට (25දා) පාකිස්තානය සමගින් තරග වැදීමට නියමිතය.
කෙසේ නමුත් නිලූක කරුණාරත්න හා දිනූක කරුණාරත්න සහභාගි වූ 32නාගේ වටයේ යුගල තරගයේදී දකුණු කොරියානු ක්‍රීඩකයන් වන චෝයි සොල්ගු හා කන්ග් මින්ගුක් හමුවේ තරග වට 2/0කින් පරාජය වූහ. 21/16, 21/17ක් ලෙස මෙහි ලකුණු තත්ත්වය දැක්විණි.
යුගල කාන්තා 32නාගේ වටයේ පැවති තරගයකි තිළිණි හෙන්දහේවා හා කවිදි සිරිමාන්නගේ 21/13, 21/13ක් ලෙස පරාජය කිරීමට චීනයේ ටැන්ග් ජින්හුවා හා සෙන්ග් යු සමත්වූහ.
බේස් බෝල් පරාජය
බේල් බෝල් මූලික වටයේ ඊයේ පැවති තරගයකින් තායිලන්තය හමුවේ ලකුණු 14-03ක් ලෙස පරාජය වීමට ශ්‍රී ලංකාවට සිදුවිය.
බීච් වොලිබෝල් ඉවතට
ශ්‍රී ලංකා බීච් වොලිබෝල් කණ්ඩායම ඊයේ (23දා) සහභාගි වූ තරගයකින් කටාර් රාජ්‍යය හමුවේ තරග වට 2-0ක පරාජයක් අත්විඳීමට සිදුවිය. අසංක ප්‍රදීප් හා මිලන්ත යාපා ශ්‍රී ලංකාව නියෝජනය කළ අතර, ඔවුන් දෙදෙනා 21/12 හා 21/11 ලෙස කටාර් රාජ්‍යය නියෝජනය කළ ජන්කෝ හා සම්බා ක්‍රීඩක යුගලය සමත් පරාජය වූහ. මෙම පරාජයත් සමග ශ්‍රී ලංකාවට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.
ශ්‍රී ලංකාව මෙහි බී කාණ්ඩයෙන් ක්‍රීඩාකළ අතර, එහිදී දකුණු කොරියාවට එරෙහිව තරග වට 2-0ක ජයක් ලැබූවද, කසකස්තානය, කටාර් රාජ්‍ය හමුවේ පරාජය වූ හෙයින් අවසන් 16 දෙනාගේ වටයට පිවිසීමට නොහැකිවිය.
කබඩි මූලිකට වටයට සීමාවෙයි
ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම ඊයේ (23දා) උදෑසන සහභාගිවූ තරගයකින් දකුණු කොරියාව හමුවේ ලකුණු 33-22ක් ලෙස පරාජය විය.
මෙහි ඒ කාණ්ඩයෙන් ක්‍රීඩාකළ ශ්‍රී ලංකාව මුහුණදුන් පළමු තරගයෙන් ප්‍රබල ඉන්දීය කණ්ඩායම හමුවේ ලකුණු 44 – 28ක් ලෙස පරාජය විය. කෙසේ නමුත් දෙවැනි තරගය 46 – 29ක් ලෙස තායිලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව ජය ලැබීය. එම වටයේ ශ්‍රී ලංකාව මුහුණදුන් තෙවැනි තරගයෙන් බංග්ලාදේශය හමුවේ 29 – 25ක් ලෙස තියුණු සටනකින් පසුව ශ්‍රී ලංකාව පරාජය විය.
ඒ අනුව අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු අතහැරගැනීමට ශ්‍රී ලංකාවට සිදුවිය. මෙහි අවසන් පූර්ව තරග සඳහා පාකිස්තානය - දකුණු කොරියාව, ඉන්දියාව - ඉරානය සුදුසුකම් ලබා සිටියි.
සජීව් දුණු විදීමෙන් බලාපොරොත්තුවක් දී ඉවත්වෙයි
දුණු විදීම ඉසව්වේ ඊයේ පැවති 32 දෙනාගේ වටයේ තරගයකින් නේපාලයේ නගර්කෝටි රොෂාන් ලකුණු 6-0කින් පරාජය කිරීමට ශ්‍රී ලංකාවේ සජීව් ද සිල්වා සමත් විය. කෙසේ නමුත් ඉන් අනතුරුව පැවති අවසන් 16 දෙනාගේ වටයේදී ඔහු චීන තායිපේ ක්‍රීඩක වෙයි චුන්හෙන්ග් හමුවේ ලකුණු 6-2ක් ලෙස පරාජයවී තරගාවලියෙන් ඉවත් විය.
ශ්‍රී ලංකාවට වොලිබෝල් ජයක්
ශ්‍රී ලංකා පිරිමි වොලිබෝල් කණ්ඩායම ඊයේ (23දා) වියට්නාමයට එරෙහිව සහභාගි වූ තරගයෙන් තරග වට 3-0ක ජයක් ලැබීය. ඊ කාණ්ඩයෙන් ක්‍රීඩාකළ කළ ශ්‍රී ලංකාව 25/23, 25/18, 25/18ක් ලෙස එම තරගය ජයගත්තේය. ශ්‍රී ලංකාව හෙට (25දා) චීනය සමගින් තරග වැදීමට නියමිතය.