2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගිවන අවසන් තරගකරුවා වන මැතිල්ඩා ක්ලාසන් තරග වඳින අශ්වාරෝහක (equestrian) තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද (03දා) ප.ව. 3.30ට (ජ.වේ. ප.ව. 7.00) ආරම්භ වේ. ඇය චොපින් අශ්වයා සමගින් 13 වැනි තරගකරුවා ලෙස තරගය ආරම්භ කිරීමට නියමිතව ඇත. කාන්තා හා පිරිමි දෙපාර්ශ්වයේම සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගයට තරගකරුවන් 75 දෙනෙකු සහභාගිවීමට නියමිතව ඇත.
මීටර 400 ලෝක වාර්තාව අලුත් වෙයි
මීටර් 400 පිරිමි කඩුලු මතින් දිවීම ඉසව්වේ ලෝක වාර්තාව අලුත් කිරීමට නෝර්වේ ක්‍රීඩක කාර්ස්ටන් වෝහොම් සමත් විය. මී. 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ අද (01දා) පැවති අවසන් තරගයේදී ඔහු මෙම දක්ෂතාව දැක්වීය. මෙහිදී ඔහු විසින් සිය ඉසව්ව අවසන් කිරීමට තත්. 45.94ක කාලයක් වාර්තා කළේය.
කෙසේ නමුත් මෙහි ඇති සුවිශේෂත්වය වන්නේ මෙහි පෙර ලෝක වාර්තාවට හිමිකම් කියන්නේද වෝහොම් වන අතර, ඔහු මෙම වසරේදීම එම වාර්තාව තත්. 46.70කින් පිහිටුවා ඇත.
මෙහි ඇති අනෙක් සුවිශේෂත්වය වන්නේ රිදී පදක්කම දිනා ගත් ඇමරිකානු ක්‍රීඩක රායි බෙන්ජමින්ද පෙර පැවති ලෝක වාර්තාව අභිබවමින් තත්. 46.17ක දක්ෂතාවක් දැක්වීමයි. මීට අමතරව මෙම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට බ්‍රසීලයේ අලිසන් ඩොස් සැන්ටෝස් සමත් වූ අතර, ඔහු තත්. 46.72ක කාලයක් වාර්තා කළේය.
මීටර 400 ඉසව්වේ ලෝක ශූරයා ඉවතට
මීටර 400 පිරිමි ඉසව්වේ වත්මන් ලෝක වාර්තාවට මෙන්ම ඔලිම්පික් වාර්තාවට හිමිකම් කියන දකුණු අප්‍රිකාවේ වේඩ් වෑන් නීකර්ක්ට මෙවර අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට නොහැකිවිය.
මෙම ඉසව්වේ මූලික වටයේ තරග ඊයේ (02දා) රාත්‍රියේ පැවැති අතර, එහි තෙවැනි මූලික තරගයට සහභාගි වූ නීකර්ක්ට තත්. 45.14ක දක්ෂතාවක් දක්වමින් හිමිවූයේ 05 වැනි ස්ථානයයි.
කෙසේ නමුත් 2016 රියෝ ඔලිම්පික් උළෙලේදී තත්. 43.03ක දක්ෂතාවක් දක්වමින් නීකර්ක්ට මෙම ඉසව්වේ ලෝක මෙන්ම ඔලිම්පික් වාර්තාව පිහිටුවීමට හැකිවිය.
බැඩ්මින්ටන් රන් පදක්කම ඩෙන්මාකයට
ඩැබ්මින්ටන් ඉසව්වේ ආදිපත්‍ය හිමිව තිබූ චීනය ප්රමුඛ ආසියාවට අභියෝග කරමින් රන් පදක්කම දිනාගැනීමට ඩෙන්මාකයේ වික්ටර් ඇක්සෙල්සන් ඊයේ (02දා) සමත් විය. අවසන් තරගයේදී චීනයේ ලෝන් චෙන් 21/15, 21/12 ලෙස තරග වට 2-0කින් ඔහු හමුවේ පරාජය විය. මෙම තරගය ආරම්භවන විට ඇක්සෙල්සන් ලෝක ශ්‍රේණිගත කිරීම්හි 04 වැනි ස්ථානයේ පසු වූ අතර, චෙන් එහි 06 වැනි ස්ථානයේ රැඳී සිටියේය.
ඉන්දියාවේ එක් බලාපොරොත්තුවක් ඉවතට
ඉන්දියාව හා බෙල්ජියම අතර අද (03දා) පැවති හොකී පිරිමි අවසන් පූර්ව තරගයෙන් ගෝල 5-2ක ජයක් ලැබීමට බෙල්ජියම සමත් විය. වත්මන් ලෝක හොකී ශ්‍රේණිගත කිරීම්හි බෙල්ජියම ලොව අංක දෙකේ කණ්ඩායම වන අතර, ඔවුන් වත්මන් ලෝක ශූරයන්ද (2018දී) වෙයි.
ඉන්දියාව පෙරේදා (01දා) පැවැති හොකී පිරිමි අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකින් මහා බ්‍රිතාන්‍යද ගෝල 3-1කින් පරාජය කර අවසන් පූර්ව තරගයට පිවිසියේය. මෙය සැලකෙන්නේ ඔලිම්පික් ඉතිහාසයේ ඉන්දීය පිරිමි කණ්ඩායමක් අවසන් පූර්ව වටයට පිවිසියේ වසර 49කට (1972/මියුනිච්) පසුව වීමයි.
ඔලිම්පික් ඉතිහාසයේ කීර්තිමත් ගෞරවයක් ඉන්දියාවට ඇති අතර, ඔවුන් රන් පදක්කම් 08ක් සමගින් රිදී පදක්කමක් හා ලෝඩක පදක්කම් දෙකක් දිනා ඇත.
කෙසේ නමුත් ඉන්දියාවට තවත් එක් හොකී බලාපොරොත්තුවක් ඉතිරිව ඇති අතර, එරට කාන්තා හොකී කණ්ඩායම ප්‍රබල ආර්ජන්ටිනාවට එරෙහිව හෙට (04දා) තරගවැඳීමට නියමිතව ඇත. ඔලිම්පික් උළෙලක ඉන්දීය කාන්තා හොකී කණ්ඩායමක් අවසන් පූර්ව වටයකට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාවද මෙය වෙයි.
ඊයේ (02දා) පැවැති කාන්තා හොකී අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකින් ඔස්ට්‍රේලියාව ගෝල 1-0කින් පරාජය කර අවසන් පූර්ව වටයට පිවිසීමට ඉන්දියාව සමත් විය. ඉන්දියාව එම ජයග්‍රහණය ලබන විට ඔස්ට්‍රේලියාව කාන්තා හොකී ලෝක ශ්‍රේණිගතකිරීම්හි 02 ස්ථානයේ රැදී සිටි අතර, ඉන්දියාවට එහි හිමිව තිබුණේ 09 වැනි ස්ථානයයි. ඔස්ට්‍රේලියාව තෙවරක්ම ඔලිම්පික් රන් පදක්කම දිනූ කණ්ඩායමක්ද වෙයි.
ඔලිම්පික් උළෙලේදී මේ දක්වා කැපීපෙනන දක්ෂතා දැක්වීමට ඉන්දියාවට නොහැකි වූ අතර, ඔවුන් අද (03දා) දිනය වන විටත් දිනාගෙන සිටියේ රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කමක් පමණි. ඒ අනුව ඔවුන් රන් පදක්කම් දිනූ රටවල් පිළිවෙළේ සිට රටවල් 75ක් අතරින් 63 වැනි ස්ථානයේ රැඳී සිටියේය.
වේගවත්ම ධාවකයා වූ ඉතාලි දුර පැනීමේ ශූරයා
කිසිවකුත් විශ්වාස නොකළ මෙවර ඔලිම්පික් උළෙලේ වේගවත්ම ධාවකයා බවට පත්වූයේ ඉතාලියේ ලැමොන්ට් මාසෙල් ජේකොබ්ස්ය. ඔහු ඉතාලි මලල ක්‍රීඩා ඉතිහාසයේ මී. 100 ඉසව්වෙන් ඔලිම්පික් රන් පදක්කමක් දිනූ පළමු ක්‍රීඩකයාද වෙයි. කෙසේ නමුත් මෙහි ඇති සුවිශේෂත්වය වන්නේ ඔහු කෙටිදුර ධාවකයෙකු වීමට පෙර ඉතාලියේ දුර පැනීමේ ශූරයෙකු වීමයි.
ඇමරිකානු පියෙකු හා ඉතාලි මවකදාව උපන් ජේකොබ්ස්, ඇමරිකාවේ ටෙක්සාස්හි උපත ලබා ඇත. කෙසේ නමුත් මසක පමණ වියේදී ඔහු සිය මව සමඟ ඉතාලියට පැමිණ ඇත. එහිදී ක්‍රීඩා කිහිපයක සුවිශේෂී දක්ෂතා දැක්වූ ජේකොබ්ස්, අවසානයේ මලල ක්‍රීඩාව තෝරාගත්තේය.
කෙසේ නමුත් ආරම්භයේදී ජවන දක්ෂතාවලට වඩා ඔහුගේ පිටියේ ඉසව්හි දක්ෂතා ඉස්මතු විය. ඉන් දුර පැනීමේ දක්ෂතා කැපී පෙනුණු අතර, ඔහු වයස අවුරුදු 21දී එනම්, 2016 වසරේ ඉතාලියේ මලල ක්‍රීඩා ශූරතාවලියේ මී. 7.89ක දක්ෂතාවක් දක්වමින් එහි ශූරතා විය. එම තරගයට ක්‍රීඩාකර සති දෙකකට පසුව ඉතාලි අවුරුදු 23න් පහළ තරගාවලියට සහභාගිවී සිය දක්ෂතාව මී. 8.48කින් ඉහළ දමා ගත්තේය.
ඉවත් වූ සිමෝනා අද තරග බිමට
ඇමරිකානු ජිම්නාස්ටික් ක්‍රීඩිකා සිමෝන් බයිල්ස් කාන්තා ජිම්නාස්ටික් සමබර දණ්ඩ (balance beam) ඉසව්වේ ශ්‍රී ලංකා වේලාවෙන් අද (03දා) ප.ව. 2.40ට පැවැත්වෙන අවසන් තරගයට ක්‍රීඩාකිරීමට නියමිතව ඇත. මෙම තරග ඉසව්ව සඳහා තරගවඳින අවසන් තරගකරුවන් 08 දෙනාගේ ලැයිස්තුව ඊයේ (02දා) ප්රකාෂයට පත්කළ අතර, ඊට ඇගේ නමද ඇතුළත් විය.
2016 රියෝ ඔලිම්පික් උළෙලේ රන් පදක්කම් 04ක් දිනූ සිමෝනාට මෙවර කැපීපෙන දක්ෂතා දැක්වීමට නොහැකි වූ අතර, දිනාගැනීමට හැකිවූයේ එක් රිදී පදක්කමක් පමණි. කෙසේ නමුත් මානසික ආතතිය හේතුවෙන් ඉකුත්දා (28දා) පැවැත්වීමට තිබූ ජිම්නාස්ටික් කණ්ඩායම් තරග ඉසව්වට ඇය සහභාගි නොවීය.
පදක්කම් සටහන (රන් පදක්කම් දිනූ පිළිවෙල අනුව)
රට රන් රිදී ලෝඩක එකතුව
1 චීනය 29 18 16 63
2 ඇමරිකාව 22 27 17 66
3 ජපානය 18 06 10 34
4 ඔස්ට්‍රේලියාව 14 04 15 33
5 රු.ඔ.ක. 12 21 17 50
6 මහා
බ්‍රිතාන්‍යය 11 12 12 35
7 ජර්මනිය 07 07 12 26
8 ප්‍රංශය 7 7 12 35
9 ද. කොරියාව 6 4 09 19
10 නවසීලන්තය 6 3 5 14
සැ.යු. - ජපාන වේලාවෙන් අද ප.ව. 02.00 පැවති තත්ත්වයි,
රු.ඔ.ක.- රුසියානු ඔලිම්පික් කමිටුව
සංජීව ධර්මසේන/ජපානයේ ටෝකියෝ නුවර සිට