වසර 19ක් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සුවිශාල මෙහෙයක් ඉටුකළ වමත් දඟපන්දු යවන රංගන හේරත් හෙට (06දා) ආරම්භ වන එංගලන්තයට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇත. ඔහු ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීම පිළිබඳව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (05දා) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබූ අතර, එහිදී හේරත් කළ කතාව පහතින් දැක්වෙයි.
පාසල් තුනකින් මගපෙන්වීම ලැබීම
මම පාසල් තුනකට ගිගින් තියෙනවා. පොල්ගහවෙල ශාන්ත බර්නදෙත් විද්‍යාලය, නාරම්මල මයුරපාද විද්‍යාලය හා කුරුණෑගල මලියදේව විද්‍යාලය එම පාසල් වෙනවා. මයුරපාද විද්‍යාලයෙන් තමයි ක්‍රිකට් ගහන්න පටන් ගත්තේ. එතනදි තමයි මගේ පළමු ක්‍රිකට් පුහුණුකරු වූ ලාල් දිනපූර්ණ මහතා හමුවුණේ. ඉන් පසු මගේ දක්ෂතා දැකලා රොහාන් වීරසූරිය මහතා මාව කුරුණෑගල මලියදේව විද්‍යාලයට සම්බන්ධ කරගත්තා.
රංගනගේ හිත වෙනස්කළ මැලේසියානු සංචාරය
1994 වසරේදී මට අවස්ථාව ලැබුණා වයස 17න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම සමග මැලේසියාවේ සංචාරයකට යන්න. ඒ සංචාරයෙන් පසුව පසුව තමයි මට ලොකු ආසාවක් ඇතිවුණේ ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන්න. ඒ ඔස්සේ අධිෂ්ඨානයත් හදාගෙන පාසලේ අවුරුදු 19න් පහළ කණ්ඩායමටත් ක්‍රීඩා කළා.
1999 වසරේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ජාත්‍යන්තර ටෙස්ට් වරම්
1999 වසරේදී මට අවස්ථාවක් ලැබුණා කොළඹ මුවර්ස් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරන්න. ඒ දවස්වල මට අවස්ථාව ලැබුණා ශ්‍රී ලංකා %ඒ^ කණ්ඩායම සමගින් එංගලන්ත සචාරයකට යන්න. එම තරගාවලියේදී හොඳින් දක්ෂතා දක්වපු නිසා මට අවස්ථාව ලැබුණා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන්න. ඒ අනුව 1999 වසරේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව මම පළමු තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ක්‍රීඩා කළා.
කෙටි කලකදීම ජාතික කණ්ඩායමෙන් ඉවත් කිරීම
වසර 2000 වන තෙක් මම ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටියා. නමුත් මට වරින් වර තමයි ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන්න හැකිවුණේ. 2000 ඉඳන් 2004 වෙනකම් මම කණ්ඩායමෙන් ඉවතයි හිටියේ. ඒ අතරෙදි 2002 වසරේදි මට අවස්ථාවක් ලැබුණා ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායම සමගින් දකුණු අප්‍රිකානු සංචාරයකට සහභාගි වෙන්න.
2004 වසරේදි මම නැවතත් ජාතික කණ්ඩායමට ආවා. නමුත් පොඩි කාලයකට. ආයෙ 2005දී කණ්ඩායමෙන් එළියට ගියා. එහෙම කාලයක් තමයි මට තිබුණේ. හැබැයි මම ඒ කාලය ගැන පිටුපස හැරිලා බලද්දී ගොඩක් සන්තෝෂ වෙනවා. ඒකට හේතුව තමයි මම ඒ කාලයේදී මොනවද කළේ, මම මොන විදයටද හිතුවේ, කොහොමද මම ක්‍රීඩා සමාජයට ගිහිල්ලා මහන්සිවෙලා වැඩකළේ, කොහොමද මගේ දක්ෂතාව වැඩිදියුණු කරගන්නේ ලෙස. ඒ දිරිගැන්වීම මගේ හිතේම තිබුණා. ඒකට වැදගත්ම වුණ දේ තමයි මට ලොකු විශ්වාසයක් තිබුණා මම ගැන.
2009 වසරේදී ජාතික කණ්ඩායමට යළි කැඳවීමක්
2009 වසරේදී මම එංගලන්තයට ගියා ලීග් ක්‍රිකට් ගහන්න. එතනින් පසුව මට හදිසියේ කැඳවීමක් ලැබුණා මුරලි ආබාධයකට ලක්වෙලා කියලා. එතැන් සිට මේ වෙනකම් ක්‍රිකට් ක්‍රීඩා කරගෙන ආවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් දක්වපු දායකත්වය හා අනාගත සැලසුම්
ක්‍රීඩකයෙකු විදියට පසු පස හැරිලා බලපුවාම හිතෙනවා තව තරග ජයග්‍රහණය කරන්න, තව කඩුලු ලබාගන්න තිබුණා නම් හොඳයි කියලා. නමුත් මේ වෙද්දි මගේ දායකත්වය කණ්ඩායමට සහ රටට 100%ක් ලබාදී තිබෙනවා කියලත් මට හිතෙනවා. ඒ වගේම මම කැමතියි දැන් ඉන්න ක්‍රීඩකයෝ හා ඉදිරියට එන ක්‍රීඩකයන්ටත් මම ලබාගෙන තිබෙන දැනුම හා මගේ පළපුරුද්ද ඒ අය එක්කත් බෙදාහදා ගන්න.
පාසල් සමයේ ආරම්භක පිතිකරුවෙකු හා වේගපන්දු යවන්නෙකු වූ රංගන
හැම තරගයේම මම ඕපන් කරලා නැහැ, නමුත් මට සාමාන්‍යයෙන් බැට් කරන්න පුළුවන්. මම මයුරපාද විද්‍යාලයේ ඉඳන් මලියදේව විද්‍යාලයට ගියාම තරගකාරිත්වය වැඩියි. ඒ නිසා මගේ පුහුණුකරු කියපු දේ හා ඔහු මාව හඳුනාගත්ත විදිය අනුව මට මොනවගේ හැකියාවක්ද තියෙන්නේ කියලා ඔහු හඳුනා ගත්තා. ඒ දවස්වල මම වේගපන්දු යවන්නෙකු ලෙසද කටයුතු කර තිබෙනවා. එහිදී පුහුණුකරු කිවුවේ ඔයාට තියෙන හැකියාව දඟපන්දු යවන එක, ඒකට වැඩිපුර මහන්සිවෙන්න කියලා. ඒකෙන් මට මුලින් බැට් කරන්න තිබුණ අවස්ථාව ටික ටික අඩුවුණා. පන්දු යැවීම පැත්තටම වැඩිපුර අවධානය යොමු කළා.
ගාල්ලෙන් සමුගැනීමට විශේෂ හේතුව
අන්තිම අවුරුදු එකහමාර, දෙක හමාර තුළ මම ගොඩක් අවස්ථාවල ටෙස්ට් තරගාවලියක තරග තුනම ක්‍රීඩා කරලා නැහැ. ඒකට හේතුව මගේ තිබුණ ආබාධ. මගේ කොන්දේ ආබාධයකුත් තිබෙනවා. එවැනි තත්ත්වයක් තුළ තරග තුනම ක්‍රීඩා කරන්න පුළුවන් වේවිද කියලා කියන්න විශ්වාසයක් නැති නිසා තමයි පළමු තරගයෙන්ම සමුගැනීමට තීරණය කළේ. තේරිම් කමිටුව, ක්‍රිකට් ආයතනය, කණ්ඩායම් නායකයා හා පුහුණුකරු මේ හැමෝම එක්ක කතා කරලා තමයි මේ තීරණය ගත්තේ. මම හිතනව ඒ තීරණය නිවැරදියි කියලා.
නවක ක්‍රීඩකයන්ට ලබාදෙන පණිවිඩය
මට තිබෙන පළපුරුද්ද නොවෙන්න පුළුවන් තව කෙනෙකුට ලැබෙන්නේ. නමුත් මගේ ජීවතයට අනුව මම කිසිම වෙලාවක කණ්ඩායමෙන් ඉවත් කළා කියලා මම පුහුණුවීම් මගහැරලාවත්, නැත්නම් වෙනත් පැත්තකට හිත යොමුකළේවත් නැහැ. මම හිත යොමුකරලා හිටියෙ නැවතත් ජාතික කණ්ඩායමට ක්‍රීඩාකරන්න ඕන කියලා.
මම පුහුණුවීම් කරනකොට වැඩිපුරව බැලුවේ මම කොහොමද හොඳට වැඩ කරන්නේ කියලා. මම බලන්නේ තමන්ට අවංකවෙලා කොහොමද වැඩ කරන්නෙ කියලා. ඒ අධිෂ්ඨානය තිබුණේ. ඒ දේවල් මට ගොඩක් උදවු වුණා.
වසර 19ක ක්‍රීඩා දිවිය තුළ ළඟා කරගන්න බැරි වුණ දේවල්
මීට වැඩිය හොඳට පන්දු යවලා කඩුලු ගන්න තිබුණා කියලා හිතෙනවා. අපි ක්‍රීඩකයෝ හැටියට අපේ අතින් ඕනම අවස්ථාවක අඩුපාඩු වෙන්න පුළුවන්. ඒ වගේම පසුපස හැරිලා බලද්දි 2011 සහ 2012 ලෝක කුසලාන ජයග්‍රහණය කරන්නත් හැකිවුණා නම් හොඳයි කියලා හිතෙනවා. කෙසේ නමුත් පෞද්ගලිකව මට කිසිම පසුතැවීමක් නැහැ. මම හැමවෙලාවෙම හිතන දෙයක් තමයි මට වැඩිපුරම දේවල් ලැබිලා තියෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාව නිසා කියලා. පසුතැවෙන දේවල් නෙමෙයි.
මම ගොඩක් සතුටු වෙන දෙයක් තමයි මට අවුරුදු 21දී ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන්න ලැබීම. අපේ රටේ ගත්තාම විශේෂයෙන් අවුරුදු 21දී ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන්න ලැබෙන්නේ කලාතුරකින්. මම කණ්ඩායමෙන් ඉවත් කරන්න හේතුවුණ කාරණා තියෙන්න ඇති. තේරීම් කමිටුව හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ වෙලාමෙම ගත්තේ කණ්ඩායමට අවශ්‍ය දේ. ඒ නිසා මට කිසිම කලකිරීමක් ඇත්තේ නැහැ.
ඔබෙන් පසු ක්‍රීඩකයන් ගැන
දැනට ක්‍රීඩා කරන ක්‍රීඩකයන් අනුව ඩිල්රුවන් පෙරේරා, අකිල ධනජය, මලින්ද පුෂ්පකුමාර ඉන්නවා. ඒ වගේම ලක්ෂාන් සඳකැන්, ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායමත් සමග පුහුණුවීම් කරන පන්දු යවන්නෝ ඉන්නවා. වැදගත්ම දේ තමයි නම්වලින් අහනවාට වඩා ඒ අය කණ්ඩායමට ආවට පස්සේ ඔවුන්ගේ මානසික්වය හදලා, ඒ වටාපිටාව හදලා දෙන එක. ඒක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හා පුහුණුකරුවන්ගේ රාජකාරියක්.
ප්රේක්ෂයන්ට රංගනගෙන් යමක්
මේ වෙනකම් රසිකයෝ ඇවිල්ලා වචනයකින් හරි අපට උදවු කරලා තිබෙන්නේ. අපි මේ කරන්නේ ක්‍රීඩාවක්. මේ ක්‍රීඩාව කරන කොට තරග ජයග්‍රහණය කරන්න පුළුවන්, පරදින්න පුළුවන්. ප්‍රේක්ෂකයන් හැමවෙලාවෙම අපිව දිරිගන්වන්න පුළුවන් නම්, අනිවාර්යයෙන්ම ඒ ක්‍රීඩකයන්ගේ දක්ෂතාව බලාගන්න පුළුවන්. ප්‍රේක්ෂකයෝ මේ වෙද්දිත් ඒ දේ කරලා තිබෙනවා. ඉදිරියේදිත් ඒ දේ ලබාදෙන්න කියලා මම ඉල්ලා සිටිනවා.
අවසන් සිහිපත් කිරීම්
මට මේ ගමන මේතරම් දුර එන්න මූලික වූ දෙදෙනා මේ වන විට ජීවතුන් අතර නැහැ. ඒ මගේ අම්මයි තාත්තයි. ඒගොල්ලන්ගෙ තිබුණ සහයෝගය නිසා තමයි මට මේ වගේ තැනකට එන්න පුවළුන් වුණේ......(හැගීම්බරව). මම විවිධ නායකයෝ, ක්‍රීඩකයෝ යටතේ ක්‍රීඩා කරලා තිබෙනවා. ඒ වගේම මගේ බිරිඳ සහ දරුවන්, මගේ පාසල් හිටපු පුහුණුකරුවන්, පාසලේ හිටපු ගුරුවරු, පාසල් කාලයේ යාළුවෝ මේ සෑම කෙනෙකුම මතක් කරනවා. මේ අයගේ සහයෝගය නැතිනම් මෙතරම් කාලයක් ක්‍රිකට් ක්‍රීඩා කරන්න බැහැ.
හේරත්ගේ වාර්තා කිහිපයක්
ටෙස්ට් ක්‍රිකට් පිටියේ මේ වනවිට කඩුලු 430ක් බිඳහෙලා ඇති හේරත්, ඉහළම කඩුලු ලාභීන් අතර ලොව 10 වැනි ස්ථානයේ රැඳී සිටිනවා. ඒ ඔහුට මෙම තරගයේදී කඩුලු 05ක් බිඳලීමට හැකි වුවහොත් මේ වනවිට ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගෙන සිටින ඉන්දියාවේ කපිල් දේව් (ලොව 07/ කඩුලු - 434) හා නවසීලන්තයේ රිචඩ් හැඩ්ලි (ලොව 09- කඩුලු - 431) අභිභවා යාමට හැකිවේ.
හේරත් මේ වනවිට වසර 19ක් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් දීර්ඝතම කාලයක් ක්‍රීඩා කළ ටෙස්ට් ක්‍රීඩකයා ඔහු වෙයි.
හේරත් ගාල්ල ක්‍රීඩාංගණයේදී මේ වනවිට ටෙස්ට් තරග 18කට ක්‍රීඩාකර කඩුලු 99ක් බිඳහෙලා ඇත. එමෙන්ම කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ තරග 14කට ක්‍රීඩාකර කඩුලු 84ක් බිඳහලා ඇත. මෙය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ක්‍රීඩාංගණයක පන්දු යවන්නෙකු කඩුලු බිඳදැමු පිළිවෙළින් 05 වැනි හා 06 වැනි වැඩිම කඩුලු වෙයි.
එමෙන්ම ගාලු ක්‍රීඩාංගණයේදී (මෙම තරගයේදී) ඔහුට එක් කඩුල්ලක් බිඳහෙළිමට හැකිවුව හොත්, එය මුත්තයියා මුරලිදරන් (ගාල්ල, එස්.එස්.සී. හා මහනුවර) හා ජෙම්ස් ඇන්ඩර්ස්ගෙන් (ලෝඩ්ස්) පසුව එක් ක්‍රීඩාංගණයක කඩුලු 100ක් සම්පූර්ණ කළ තෙවැනි පන්දු යවන්නා ලෙස ඉතිහාසයට එක්විය හැක.
හේරත් පාකිස්තානට එරෙහිව තරග 21කදී කඩුලු 106ක් බිඳහෙලා ඇති අතර, පාකිස්තානට එරෙවිහි එවැනි දස්කමක් දක්වා ඇති එකම විදෙස් පන්දු යවන්නා හේරත් වෙයි. මෙය ඔහුගේ බිඳහෙළන ලද සමස්ත කඩුලු අතරින් හතරෙන් එකක් වෙයි.
හේරත් 2014 වසරේදී සිය හොදම පන්දුව යැවීම (9/127) පාකිස්තානයට එරෙහිව කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී දක්වා ඇති අතර, මෙය ලොව වමත් පන්දු යවන්නෙකු දක්වා ඇති හොඳම පන්දු යැවීම වෙයි. එමෙන්ම එම තරගයෙදී ඔහු 14/184 ලෙස කඩුලු බිඳහෙලූ අතර, එයද ලොව වමත් පන්දු යවන්නෙකු දැක්වූ හොඳම පන්දු යැවීමයි.
ටෙස්ට් තරග 05කදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ලෙස කටයුතු කර ඇති හේරත්, ඉන් තරග 03ක් ජයග්‍රහණය කර තිබේ.