කනිෂ්ඨ ක්‍රීඩකයන්ගේ නැගී සිටීම සමහර අයට නම් හිසරදයකි. ඔවුන් බලාගෙන ඉන්නේම කනිෂ්ඨයන් ඉදිරියට එනවිට කකුලෙන් ඇඳීමටය. කෙසේ නමුත් නාගලිංගම් එදිරිවීරසිංහම් යනු ඊට හාත්පසින්ම වෙනස් චරිතයකි. හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකු වන ඔහු තරුණ ක්‍රීඩකයන්ට ඉදිරියට ඒමට නිර්ලෝභීවම අතදුන් ආදර්ශමත් මහත්මයෙකි.
මේ වනවිට ක්‍රීඩාවෙන් සමුගෙන බොහෝ කාලයක් ගතවී ඇති එදිරිවීරසිංහම් මහතා ගැන මතකය අලුත් කළේ, මංජුල කුමාරය. ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම උස පැනීමේ ක්‍රීඩකයා වන මංජුල, පසුගියදා ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කළේ තමන්ට අතදුන් බොහෝ දෙනෙකු මතක් කරමිනි. විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා ඔහු සිය සමුගැනීම දැනුම්දෙද්දී, තමන්ට උදව් කළ අය මතක් කිරීමට ඔහු අමතක නොකළේය. ඒ අතර නාගලිංගම් එදිරිවීරසිංහම් යනු මංජුල විශේෂයෙන් සඳහනක් කළ නාමයකි. එදිරිවීරසිංහම් නාමය ඔහුට මතක් වීම පිටුපස සුවිශේෂී කථාවක් වෙයි.
මේ වන විට අවුරුදු 85ක් පමණ වන එදිරිවීරසිංහම් මහතා අතිදක්ෂ උස පැනීමේ ක්‍රීඩකයෙකු වෙයි. ඔහු උපත ලබන්නේ යාපනය ඉලවාලේ ප්රදේශයේය. යාපනය මාධ්‍ය මහා විද්‍යාලය ඔහුගේ පාසලයි. හෙතෙම තෙවරක් ආසියානු ක්‍රීඩා උළෙල (1954, 1958, 1962) නියෝජනය කළ ශ්‍රී ලාංකිකයෙකු අයෙකු වේ. ඔහු 1958 වසරේ ජපානයේ පැවැති තෙවැනි ආසියානු ක්‍රීඩා උළෙලේ උස පැනීම රන් පදක්කම (මී. 2.03) දිනා ගැනීමට සමත් වූ අතර, එය ආසියානු ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලාංකිකයෙකු දිනූ ප්‍රථම රන් පදක්කමයි.
එමෙන්ම 1952 හා 1956 වර්ෂයන්හි ඔලිම්පික් ක්‍රීඩා උළෙල පවා නියෝජනය කළ අයෙකු වන එදිරිවීරසිංහම්, උස පැනීමේ ඉසව්වෙන් ඔලිම්පික් උළෙලක් නියෝජනය කළ පළමු ශ්‍රී ලංකා ක්‍රීඩකයාද වෙයි.
මලල ක්‍රීඩකයෙකු වගේම දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකුද වන එදිරිවීරසිංහම්, මලල ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසු ලොව පුරා විශ්වවිද්‍යාල කිහිපයක කටයුතු කළ ආචාර්යවරයෙකුද වෙයි. ඔහු ශ්‍රී ලංකාවේ මෙන්ම සියරා ලියොන්, පැපුවා නිව්ගිනියා සහ නයිජීරියාවේ විශ්වවිද්‍යාලයන්හි ආචාර්යවරයෙකු ලෙසද කටයුතු කර ඇත. අප්‍රිකානු රටක් වන සියෙරා ලියොන්හි සිටියදී එම විශ්වවිද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරා ඇති අතර, 1973 වසරේදී එරට ජාතික කණ්ඩායමේ උප නායකයා ලෙසද කටයුතු කර ඇත.
එදිරිවීරසිංහම් මහතා ගැන ගෞරවයෙන් කතා කරන මංජුල, ඔහුව හඳුන්වන්නේ තම දෙවැනි පියා ලෙසිනි. වසර 17ක් අඛණ්ඩවම ශ්‍රී ලංකාවේ උස පැනීමේ ජාතික ශූරයා බවට පත් වූ මංජුලගේ ක්‍රීඩා ගමනට ඔහුගේ පුහුණුකරුවන්ගෙන් ලැබුණු මඟපෙන්වීම මෙන්ම එදිරිවීරසිංහම් මහතාගෙන් ලැබුණේ සුවිසල් දායකත්වයකි.
මංජුලගේ ජාත්‍යන්තර ක්‍රීඩා දිවිය ආරම්භක කාල සීමාව වූයේ 2001 වසරය. මෙම කාලවකවානුවේ එදිරිවීරසිංහම් මහතා ජීවත් වූයේ ඇමෙරිකාවේ, කැලිෆෝනියාහිදීය. නමුත් දිවයිනෙන් කොතෙකුත් බැහැරව සිටියත් ඔහු ශ්‍රී ලංකාවේ සිදුවන ක්‍රීඩා පිළිබඳව සෙවීම අමතක නොකළ අයෙකු විය. හෙතෙම ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව ගැන කොතරම් උනන්දුවක් දක්වනවාද කියතොත්, ඇමෙරිකාවේ සිටියත් ලංකාවේ පත්තර කියවීමට ඔහු පුරුද්දක් කරගෙන තිබුණි. දිනපතාම මෙරට ක්‍රීඩාව ගැන යාවත්කාලීන වන එදිරිවීරසිංහම්, මංජුලගේ දක්ෂතා ගැන දැනගන්නේද පුවත්පත්හි පළවන ලිපි මඟිනි.
2001 වසර යනු මංජුල ජාත්‍යන්තර ක්‍රීඩා පිටියට පය තැබූ කාලසීමාවයි. එම වසරේ හංගේරියාවේ පැවැති ලෝක යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේ උස පැනීමේ ඉසව්වට සහභාගි වූ මංජුල, ලෝකයෙන්ම අටවැනියා විය. ඒ වන විට යන්තම් වයස 17 සම්පූර්ණ වී තිබූ මංජුලට එවක පැවති ශ්‍රී ලංකා වාර්තාව (මී. 2.10) සම කිරීමට හැකිවිය. එම වසරේම කුරුණෑගල පැවැති ජාතික මහා ක්‍රීඩා උළෙලේදී නව තරග වාර්තාවක් සමගින් රන් පදක්කමද මංජුල දිනා ගත්තේය. එමෙන්ම 2002 වසරේ පැවැති ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේදී මංජුල ලොව 09 වැනියා වූ අතර, ඒ සමග ඔහුට එතෙක් මී. 2.16කට තිබූ උස පැනීම ශ්‍රී ලංකා වාර්තාව (මී. 2.18ක දක්ෂතාවක් දක්වා) අභිභවා යාමට හැකි විය. මේ තොරතුරු පුවත්පත්හි නිතර නිතර වාර්තාවනවා දුටු එදිරිවීරසිංහම්, මංජුලගේ ක්‍රීඩා අනාගතය දැක්කේය.
ඒ අනුව ඔහු ඇමෙරිකාවේ සිට මංජුල අධ්‍යාපනය ලබන දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලයට ලිපියක් යොමු කළේය. ඔහු එහි සඳහන් කරන්නේ තමන්ට මංජුලගේ දක්ෂතා ගැන පැහැදීමක් ඇති බවත්, ඔහුට උදව් කරන්නට සූදානම් බවත්ය.
කෙසේ නමුත් එදිරිවීරසිංහම් මහතා ඉංග්‍රීසි භාෂාවෙන් යොමු කළ මෙම ලිපිය ගැන මංජුලට එතරම් වැටහීමක් නොතිබුණි. එනමුත් එදිරිවීරසිංහම් යනු කවුරුන්දැයි දන්නා ඔහුගේ පුහුණුකරු (කීර්ති කුමාර), මීට පිළිතුරු ලිපියක් කඩිනමින් සකස් කළේය. ඊට විදුහල්පතිතුමාගේ හා පාසලේ ඉංග්‍රීසි ගුරුවරයාගේ සහායද හිමි වූහ. ඒ ආකාරයෙන් මංජුලට, එදිරිවීරසිංහම් මහතා හඳුනා ගැනීමට හැකි විය.
උතුරේ හැදුණු වැඩුණු ද්‍රවිඩ ජාතිකයෙකු වූ එදිරිවීරසිංහම් මහතා, කිසිදු අකමැත්තක් හෝ ජාති භේදයක් නොමැතිව මංජුලට උදව් කිරීමට ඉදිරිපත් විය. 2003 වසරේදී මංජුලව ඇමෙරිකාවට ගෙන්වාගන්නා ඔහු, එහි සිට මංජුලට පුහුණු කිරීමට අවශ්‍ය මග පෙන්වීම හා පහසුකම් ලබාදුන්නේය. මලල ක්‍රීඩාවට අමතරව මංජුලට ගොල්ෆ් ක්‍රීඩකයෙකු වීමට පවා අවශ්‍ය සියලු දැනුම ලබා දුන්නේය.
ඉන් නොනැවතුණු නාගලිංගම් මහතා, ක්‍රීඩාවට අමතරව මංජුලට ඉංග්‍රීසි භාෂාව ඉගැන්වූ අතර, පරිගණක දැනුම වර්ධනය කර ගැනීමටද අවශ්‍ය පරිසරය සකසා දුන්නේය. ඒ වගේම කැලිෆෝනියා විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට ශිෂ්‍යත්වයක්ද ලබා දුන්නේය. එම අතදීම නිසා මංජුල අද ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධිධාරියෙකු වේ.
කෙසේ නමුත් උපන් බිම අමතක නොකළ මංජුල, ක්‍රීඩාවට තිබෙන ලැදියාව නිසාම යළි ශ්‍රී ලංකාවට නොපැමිණියේ නම්, අද ඔහු ඇමරිකාවේ රැකියාවක නිරතව එරට පුරවැසියෙකු වීමටද අවස්ථාව තිබුණි. දකුණේ සිංහලයෙකු වූ මංජුල කුමාරට, එදිරිවීරසිංහම් මහතා උදව් කළේ එලෙසිනි. ක්‍රීඩාව ඉදිරියේ ඔහුට ආගමික හෝ ජාති භේදයක් නොමැති විය.
ක්‍රීඩකයෙකුට අමතරව යුනෙස්කෝ ආයතනයේ වසර පහක් සේවය කළ පරිපාලකයෙකුද වන එදිරිවීරසිංහම් මහතා, ක්‍රීඩාව උපයෝගී කර ගනිමින් උතුරේ ජන ජීවිතය නගාසිටුවීමට විශේෂ උනන්දුවක් ගත් අයෙකු ලෙසද ප්රකටය. යුද්ධයෙන් අවතැන් වූ පිරිස් හි ජනජීවිතය ගොඩනැගීමට ක්‍රීඩාව උපයෝගී කරගත හැකියි එදිරිවීරසිංහම්ගේ මතයයි.
ශ්‍රී ලංකිකත්වයට දැඩි ලෙස ආදරය කළ අයෙකු වන එදිරිවීරසිංහම් මහතා වරක් International Alert වෙබ් අඩවියට මෙසේ ප්‍රකාෂ කර තිබුණි.
"යුද්ධයෙන් අවතැන් වූ පිරිස් හි ජන ජීවිතය ගොඩනැගීමට ක්‍රීඩාව උපයෝගි කරගත හැකියි. යුද්ධය හේතුවෙන් උතුරේ ජනතාවට ක්‍රීඩාවෙන් ඉදිරියට ඒමට අවස්ථාවක් තිබුණේ නැහැ.
මම ඔලිම්පික් උළෙලට ගිය කාලයේ මට කොඩියක්වත්, ජාතික කීර්තියක්වත්, ජාතික ගීතයක්වත් තිබුණේ නැහැ. ඒ අඩුව මට ඔලිම්පික් උළෙලෙදි හොදින්ම දැනුණා. මට මේ තත්ත්වයට එන්න සලසපු මගේ රට තරම්, මට වෙන කිසිම රටක් දේශප්‍රේමී වෙන්නේ නැහැ. මට හිතනවා මම මගේ රටට යමක් කළා කියලා.
මම ජාතික ගීය කියන්නේ සිංහලෙන්. මට ඒක සාමාන්‍ය දෙයක්. ජාතික ගීය මම දෙමළින් කියන්නේ දන්නේ නැහැ. නමුත් ජාතික ගීය කුමන භාෂාවකින් තිබුණත්, මිනිසුන්ගේ සමානකම් ඒකෙන් මට දැනෙනවා" යනුවෙන් පවසා තිබුණි.