2020 වසරේ පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය තමන්ට ලැබුණත් නොලැබුණත් ශ්‍රී ලංකාවට හොඳ විස්සයි20 සංචිතයක් නිර්මාණය කිරීම තම අරමුණ බව ශ්‍රී ලංකා විස්සයි20 නායක ලසිත් මාලිංග පවසයි.
අද ආරම්භවීමට නියමිත ශ්‍රී ලංකා - නවසීලන්ත විස්සයි20 තරගාවලියට පෙරාතුව ඊයේ නුවර පැවැති මාධ්‍ය හමුවකදී මාලිංග මේ බව පැවැසීය.
“මම බලාපොරොත්තු වෙන්නේ ඉදිරියට ශ්‍රී ලංකා විස්සයි20 සංචිතයට හොඳ ක්‍රීඩකයන් හොයලා දෙන්න. අපි පසුගිය කාලයේ ක්‍රීඩා කළ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ඉන්නවා.
සමහරවිට ඔයගොල්ලෝ (මාධ්‍ය) බලාපොරොත්තු නොවන ක්‍රීඩකයන් ඉදිරියට එන්නත් පුළුවන්.
අපි ඔවුන්ගේ දක්ෂතාව උපරිමයෙන්ම ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. ළාබාල ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ඉන්නවා. මගෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙත්, තේරිම් කමිටුවෙත් බලාපොරොත්තු වෙන ලෙසට ඔවුන්ගේ දක්ෂතාවට ගැලපෙන තැන ලැබේවි.
නවසීලන්ත කණ්ඩායම අනුව සමහර ක්‍රීඩකයන්ට ඉහළට පහළට යන්න අවස්ථාව තිබෙනවා.වැදගත් වෙන්නේ ක්‍රීඩකයන් දක්වන දක්ෂතාව. මොන රටක් එක්ක ක්‍රීඩා කළත් ක්‍රීඩකයන් දක්ෂතා දක්වන්න ඕන.
ඕනම කණ්ඩායමක් පරාජය කරන්න පුළුවන් හැකියාවක් තිබෙන කණ්ඩායමක් ශ්‍රී ලංකාව සතුයි.
නවසීලන්තය වේග පන්දු යවන්නනට හොඳින් ක්‍රීඩා කරනවා. කඩුලු තුනක් දවාගන්න පුළුවන් වුණොත් තරගය ජය ගන්නවා. කඩුලු 100 මට වැදගත් නෑ. තරගය ජයගන්න දායක්තවය ගන්න කොට අපිට තීරණ ගන්න වෙනවා. අපි අවධානමක් ගන්න ඕන. අවධානමක් ගන්නේ නැතිව තරගයක් ජයගන්න අමාරුයි.”