බංග්ලාදේශයට එරෙහි තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය ඊයේ (04දා) එළිදක්වනු ලැබීය. දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට නවක මුහුණු කිහිපයක් මෙන්ම මෑතකදී ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ දැකගැනීමට නොහැකි වූ කිහිප දෙනෙකුද කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු යොදා ඇත.
ඒ අනුව තවමත් ටෙස්ට් වරම් දිනා නොමැති ක්‍රීඩකයන් තිදෙනෙකු වන කමිල් මිශාර, සුමින්ද ලක්ෂාන් හා ඩිල්ෂාන් මධුසංක ටෙස්ට් සංචිතයට නම්කර ඇත.
කොළඹ රාජකීය හා පානදුර මහානාම විදුහලේ ආදි සිසුවෙකු වන 21 හැවිරිදි කමිල් මිශාර, ශ්‍රී ලංකාව සිදුකළ ඔස්ට්‍රේලියානු සංචාරයේදී විස්සසයි20 වරම් දිනාගත්තේය. කෙසේ නමුත් එහිදී මෙන්ම ඉන් පසුව සිදුකළ ඉන්දීය සංචාරයේදීද සාර්ථක වීමට අවස්ථාවක් නොමැති වූ ඔහුට තරග 03කට ක්‍රීඩාකර රැස්කිරීමට හැකිවූයේ ලකුණු 15ක් පමණි.
මේ වනවිට පානදුර ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ආරම්භක පිතිකරුවෙක් ලෙස කටයුතු කරන කමිල්, පළමුපෙළ 10කට පමණක් ක්‍රීඩාකර අර්ධ ශතක 06ක් සමගින් ලකුණු 666ක් රැස්කර ඇත.
කොළඹ ඩිලා සාල් විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වී මේ වනවිට යුද හමුදා ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩාකරන සුමින්ද ලක්ෂාන්, තුන්ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස සංචිත ගත වී සිටියි.
දකුණුත් පිතිකරු හා පාදඟ පන්දු යවන්නෙකු වන සුමින්ද, පළමුපෙළ තරග 34කදී කඩුලු 69ක් හා ලකුණු 1727ක් රැස්කර ඇත. ශතක 05ක් හා අර්ධ ශතක 06ක් රැස්කර ඇති සුමින්ද ද්විත්ව ශතකයක්ද (ලකුණු 221) වාර්තා කර ඇත.
එමෙන්ම වමත් වේගපන්දු යවන්නෙකු වන 21 හැවිරිදි ඩිල්ෂාන් මධුසංකද මේ දක්වා එකඳු ජාත්‍යන්තර තරගයක් හෝ ක්‍රීඩාකර නොමැත. හුංගම විජයබා ජාතික පාසලෙන් ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වූ ඔහු කොළඹ කෝල්ට්ස් කණ්ඩායම නියෝජනය කර ඇති අතර, මේ දක්වා පළමු පෙළ තරග 06කදී කඩුලු 19ක් බිඳහෙලා ඇත.
මීට අමතරව වසර දෙකකට පසු, 28 හැවිරිදි කසුන් රාජිතද ටෙස්ට් කණ්ඩායමට කඳවා ඇත. අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම සිඳුකළ දකුණු අප්‍රිකානු තරග සංචාරයට ක්‍රීඩාකළ කසුන්, මේ දක්වා ටෙස්ට් තරග 09කදී කඩුලු 25ක් බිඳහෙලා සිටියි.
මේ අතර කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න මේ වනවිට එංගලන්තයට ගොස් යෝක්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩාකරන අතර, එහිදී ප්‍රාන්ත තරග 04කට ක්‍රීඩා කිරීමෙන් පසු බංග්ලාදේශය බලා පැමිණීමට නියමිතව ඇත.
එමෙන්ම කුසල් මෙන්ඩිස් හා ධනංජය ද සිල්වාද බංග්ලාදේශ ඩකා ප්‍රිමියර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩාකරමින් සිටින අතර, ඔවුන් දෙදෙනාද ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයට ලඟ වූ පසු කණ්ඩායම සමගින් එක්වනු ඇත.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් නිකුත්කළ නිවේදනයේ දක්වා ඇත්තේ, මෙම බංග්ලාදේශ සංචාරය වෙනුවෙන් තෝරාගෙන සිටි මූලික සංචිතයට පිතිකරු රොෂේන් සිල්වාද ඇතුළත්ව සිටි බවයි. කෙසේ නමුත් ඔහු මෙම තරගාවලියට සහභාගිවීමට නොහැකි බව දන්වා ඇති හෙයින්, ක්‍රිකට් තේරීම් කමිටුව ඔහු වෙනුවට කමිඳු මෙන්ඩිස් කැඳවීමට කටයුතු කළ බවයි.
අයි.සී.සී. ටෙස්ට් ලෝක ශූරතාවලිය යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේ පළමු තරගය මෙම මස 15වැනිදාද, දෙවැනි ටෙස්ට් තරගය මෙම මස 23වැනිදාද ආරම්භ වීමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන 08 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.
ශ්‍රී ලංකා සංචිතය
1 දිමුත් කරුණාරත්න (නායක), 2 කමිල් මිෂාර, 3 ඕෂද ප්‍රනාන්දු, 4 ඇන්ජලෝ මැතිව්ස්, 5 කුසල් මෙන්ඩිස්, 6 ධනංජය ද සිල්වා, 7 කමිඳු මෙන්ඩිස්, 8 නිරෝෂන් දික්වැල්ල, 9 දිනේෂ් චන්දිමාල්, 10 රමේෂ් මෙන්ඩිස්, 11 චාමික කරුණාරත්න, 12 සුමින්ද ලක්ෂාන්, 13 කසුන් රාජිත, 14 විශ්ව ප්‍රනාන්දු, 15 අසිත ප්‍රනාන්දු, 16 ඩිල්ෂාන් මධුශංක, 17 ප්‍රවීන් ජයවික්‍රම, 18 ලසිත් ඇඹුල්දෙණිය