ශ්රී ලංකා සභාපතිගේ කණ්ඩායම හා සංචාරක දකුණු අප්රිකානු කණ්ඩායම අතර කොළඹ පී. සරා ඕවල් ක්රීඩාංගණයේ පැවති දෙදින පුහුණු තරගය ජයපරාජයෙන් තොරව ඊයේ (08දා) අවසන් විය.
පෙරේදා (07දා) ආරම්භ වූ මෙම තරගයේ කාසිසේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් ශ්රී ලංකා සභාපතිගේ කණ්ඩායම තීරණය කළේය. ඒ අනුව ඔවුහු පන්දුවාර 78.2ක් අවසනදී සියලු දෙනා දැවී ලකුණු 287ක් රැස්කිරීමට සමත් වූහ. මෙහිදී නායකත්වයේ ඉනිමක් ක්රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස් පන්දු 124කට මුහුණ දෙමින් ලකුණු 92ක් රැස්කළේය. මීට අමතරව කෞෂාල් සිල්වා (76), ධනුෂ්ක ගුණතිලක (53) අර්ධ ශතක රැස්කරමින් දක්ෂතා දැක්වූහ. ටබ්රායිස් ෂම්සි කඩුලු 05ක් බිඳලමින් දකුණු අප්රිකාව වෙනුවෙන් පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වීය.
මෙහිදී පිළිතුරු ඉනිම ක්රීඩා කළ දකුණු අප්රිකානු කණ්ඩායම තම පළමු ඉනිමට පන්දුවාර 73.5කදී සියල්ලන් දැවී ලකුණු 338ක් රැස්කිරීමට සමත් වූහ. නායක ෆෆ් ඩු ප්ලෙසිස් (79), හෂිම් අම්ලා (78), ටෙම්බා බවුමා (58) අර්ධ ශතක රැස්කරමින් දකුණු අප්රිකානු ඉනිම ගොඩනැගූහ. වනිදු හසරංග (3/72) ශ්රී ලංකා පන්දු යවන්නනත් අතරින් ඉහළම කඩුලු ලාභියා විය. දකුණු අප්රිකානු ඉනිම අවසන් වීමත් සමග තරගය අවසන් කිරීමට තරග විනිසුරු කටයුතු කළහ.
ශ්රී ලංකා සභාපතිගේ කණ්ඩායම පළමු ඉනිම 287/10 (පන්දුවාර 78.2)
ඇන්ජලෝ මැතිව්ස් 92 (124, 4x13, 6x3), කෞෂාල් සිල්වා 76 (119, 4x9), ධනුෂ්ක ගුණතිලක 53 (66, 4x9), ධනංජය ද සිල්වා 28 (39, 4x4), ටබ්රායිස් ෂම්සි 5/45, ෂෝන් බ්රේග් 2/82 (17)
දකුණු අප්රිකාව පළමු ඉනිම 338/10 (පන්දුවාර 73.5)
ෆෆ් ඩු ප්ලෙසි 79 (85, 4x13, 6x1), හෂිම් අම්ලා 78 (114, 4x11), ටෙම්බා බවුමා 58 (103, 4x6, 6x1), ඩීන් එල්ගා 43 (48, 4x8), වනිඳු හසරංග 3/72 (14), ධනංජය ද සිල්වා 2/9 (3.5), ලසිත් ඇඹුල්දෙනිය 2/83 (17)