ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ නව සභාපතිනිය ලෙස නිතරගයෙන් පත්වීමට හිටපු දැල්පන්දු සභාපතිනී ලක්ෂ්මී වික්ටෝරියා මහත්මිය සමත් වූවාය.
ඇය අඛණ්ඩව දෙවැනි වරටත් මෙම තනතුරට පත්වීම සුවිශේෂී වන අතර, 2020 - 2021 වසර සඳහා නව නිලධාරී මණ්ඩලය පත් කර ගැනීමට මෙම නිලවරණය පැවත්විණි. නිලවරණය ඊයේ (31දා) ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
නව සභාපතිනිය ලෙස හිටපු සභාපතිනී වික්ටෝරියා ලක්ෂ්මී මහත්මියගේ නම සාමාජික සංගම් 22ක් යෝජනා කර තිබීම සුවිශේෂී වේ. 2019 වසරේ පරිපාලන බලය හෙබවූ කණ්ඩායමටම මෙවර නිලවරණයේදී තනතුරු හිමි විය.
උපලේකම් ධුරය සඳහා පමණක් මෙවර ඡන්ද විමසීමක් පැවැති අතර, එහිදී ශ්‍යාමා කුරේ මහත්මියව ඡන්ද 28-00ක් ලෙස පරදවමින් සුමිත්‍රා වනසිංහ උපලේකම් ලෙස පත්විය.
ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සාමාජික සංගම් 36ක් පවතින අතර, ඉන් 03කට (පාසල් දැල්පන්දු සංගමය, විනිසුරුවන්ගේ දැල්පන්දු සංගමය සහ පුහුණුකරුවන්ගේ දැල්පන්දු සංගමය) ඡන්ද බලය හිමි නොවේ. ත්‍රිකුණාමලය දැල්පන්දු සංගමයට මෙවර ඡන්ද බලය හිමි නොවුණු අතර, ඒ අනුව මෙවර නිලවරණයේදී ඡන්ද බලය හිමි සංගම් ගණන 33කි.
නිලවරණය සඳහා ඡන්දය හිමි සංගම් වන රාජ්‍ය සේවා, වෙළෙඳ සේවා, යාපනය සහ කිලිනොච්චි යන දැල්පන්දු සංගම් පැමිණ නොසිටියේය.
මෙහි සභාපති ධුරයට නාම යෝජනා ලබාදුන් පද්මා බැද්දෙවෙල, ලේකම් ධුරයට නාම යෝජනා ලබාදුන් ශිරෝමි කුරුප්පු සහ වජිරා පුෂ්පකුමාරි යන මහත්මීන්, උපසභාපති ධුරයට නාම යෝජනා ලබාදුන් වජිරා පුෂ්පකුමාරි මහත්මිය, උපලේකම් ධුරයට නාම යෝජනා ලබාදුන් හිමාලි එදිරිවීර යන මහත්මීහු ඉල්ලා අස්වූහ.