වත්මන් පාපන්දු පරිපාලනය යළිත් දෙදරා ගොස් තිබේ. ඒ මේ වන විට එහි විධායක සභාවෙන් 04ක් ඉල්ලා අස්වීම හේතුවෙනි. මේ හේතුව නිසා විධායක සභාවේ ගණ පූර්ණයද අහිමිව ගොස් ඇති අතර, බොහෝදුරට පාපන්දු පරිපාලනයට අතුරු කමිටුවක් පත්කිරීමේ වැඩි ඉඩක් නිර්මාණය වී තිබේ.
මේ වන විට විධායක සභාවෙන් ශ්‍රී ලංකා පාපන්දු සංගමයේ ලේකම් ඉන්දික තේනුවර, උපසභාපතිවරු වන සී. දීපිකා කුමාරි සහ සමන් දිල්හාන් නාගහවත්ත, භාණ්ඩාගාරික ටී. සුදාකර් යන මහත්ම මහත්මීහු ඉල්ලා අස් වී තිබේ.
පාපන්දු සම්මේලනයේ විධායක සභාවේ සාමාජිකයන් ගණන 11ක් වුවත්, පසුගිය ජනවාරි මස 14දා පැවැති නිලවරණයෙන් පත්වූයේ 08දෙනෙකු පමණකි.
එහෙයින් පාපන්දු පරිපාලනයේ විධායක සභාව නිලධාරීන් 08 දෙනෙකුගෙන් සමන්විත වුවද, ඉන් 04ක් ඉල්ලා අස්වීම නිසා ගණ පූර්ණය වන නිලධාරීන් 06 කඩඉම වත්මන් සභාපති ජේ. ශ්‍රී රංගා මහතාට අහිමිව තිබේ.
මේ හේතුව නිසා කිසිදු කටයුත්තක් කිරීමේ බලය වත්මන් පරිපාලනයට අහිමිව ගොස් තිබේ.
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ විධායක සභාවට මෙවර උපලේකම් සහ උපභාණ්ඩාගාරික තනතුරු සඳහා නිලධාරීන් පත් කර ගැනීමට නොහැකි වූයේ එම තනතුරුවලට ලබාදුන් නාමයෝජනා සියල්ල ප්‍රතික්ෂේප වීම නිසාය.
මේ වන විට පාපන්දු විධායක සභාවේ සිටිනුයේ වත්මන් සභාපති ජේ. ශ්‍රී රංගා මහතාට අමතරව උපසභාපතිවරුන් වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, ටී. අයි. උඩුවර සහ උපලේකම් (තාක්ෂණ) එස්.ආර්.එම්.එම්. අසාඩ් යන මහත්වරු පමණි.
කෙසේ වෙතත් පසුගිය ජනවාරි මස 14වනදා පැවැත්වූ නිලවරණයෙන් පත්වූ විධායක සභාවේ බහුතරයක් මේ වන විට ඉල්ලා අස් වී ඇති නිසා පාපන්දු සම්මේලනය පවත්වාගෙන යාමට බොහෝදුරට අතුරු කමිටුවක් පත්කිරීමේ අවදානමක් මතු වී ඇත.
බොහෝවිට මෙම සතිය තුළදීම මීට අවශ්‍ය ක්‍රියාමාර්ග ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ගනු ඇති බවට ක්‍රීඩා අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
එම අතුරු කමිටුව බොහෝදුරට වත්මන් සභාපති ජේ. ශ්‍රී රංගා මහතා සභාපතීත්වය දරන අතුරු කමිටුවක් වනු ඇතැයි මේවන විට ඉඟි පළව තිබේ. එමෙන්ම මේ වන විට පාපන්දු විධායක සභාවේ සිටින නිලධාරීන් තිදෙනාද එම අතුරු කමිටුවේ සාමාජිකයන් වනු ඇතැයි වාර්තා වන අතර, ඊට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් දෙදෙනෙකු පත්කරන බවටද තොරතුරු අනාවරණය වේ.