ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ වත්මන් සභාපති අනුර ද සිල්වා මහතා පාපන්දුවේ දියුණුවට ලැබෙන මුදල් අනිසි ලෙස වියදම් කරමින් ඒක පුද්ගල රංගනයක යෙදී පාපන්දු ක්‍රීඩාව විනාශ කරමින් සිටින බවත්, ඔහු ඇතුළු වත්මන් පරිපාලනයට චෝදනා රැසක් ඇති බවත් කලාපීය පාපන්දු සංවර්ධන සභාපති සහ සිටිලීග් සභාපති ආර්. පුවනේන්ද්‍රන් මහතා පැවසීය.
පාපන්දු විධායක සභාව ගන්නා තීන්දු තීරණ සම්බන්ධයෙන් සැළකිල්ලක් නොදක්වමින් හිතුමතේ කටයුතු කරන පාපන්දු සභාපතිවරයා, පාපන්දු සම්මේලනයේ කමිටු සභාපතිවරු තිදෙනෙකුගේ වුවමනාවන් වෙනුවෙන් සංගමයේ කටයුතු මගහැර කටයුතු කරන බවටද කලාපීය පාපන්දු සංවර්ධන සභාපතිවරයා චෝදනා කර සිටියි.
ඔහු පෙන්වා දෙන්නේ මේ වනවිට අඛණ්ඩව පාපන්දු ක්‍රීඩාවේ පරිහානියක් දක්නට ඇති බවත්, පාපන්දු ක්‍රීඩාව රැක ගැනීමට ක්‍රීඩා අමාත්‍යවරයාගේ කඩිනම් මැදිහත්වීමක් අවශ්‍ය බවයි. එසේම ක්‍රීඩා ඇමතිවරයා මීට කඩිනම් විසඳුමක් ලබාදීමට අපොහොසත් වන්නේ නම් පාපන්දු ක්‍රීඩාව දැනට පත්ව ඇති අර්බුදයෙන් ගොඩගැනීමට නොහැකි වනු ඇති බවද ඔහු අවධාරණය කරයි.
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ තාක්ෂණික සභාපතිවරයාට, බීච් පාපන්දු සභාපතිවරයාට සහ තරගාවලි කමිටු සභාපතිවරයාට අවශ්‍ය පරිදි පාපන්දු සභාපතිවරයා තීන්දු තීරණ ගැනීමෙන් පාපන්දු පරිපාලනය අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති බවත්, මේ සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැතිවරයාට ලිඛිතව පැමිණිලි කරන බවත් ඒ මහතා සඳහන් කළේය.
"දිගින් දිගටම පාපන්දු තරග පරාජය වෙනවා. පාපන්දු ක්‍රීඩාව සංවර්ධනය කිරීමට පාපන්දු සභාපතිවරයා කිසිදු උත්සහයක් නෑ. තනතුරේ අවුරුදු ගණනක් සිටියත් ක්‍රීඩාවට වුණු දෙයක් නෑ. වසරකට පාපන්දු සම්මේලනයට ආසියානු හා ලෝක පාපන්දු සම්මේලනවලින් ඇමෙරිකානු ඩොලර් මිලියනයක පමණ මුදලක් ලැබෙනවා. පාපන්දු ක්‍රීඩා සමාජ හා පාපන්දු ලීග් රැවටීමට ලක් කරනවා විතරයි. බොරු පොරොන්දු දෙනවා. කිහිපදෙනෙකු සාක්කු පුරෝගෙන ගෙදර යනවා. මේක තවත් ඉවසන්න බැරි නිසයි ඇමැතිතුමාට පැමිණිලි කරන්නේ" යැයි පුවනේන්ද්‍රන් මහතා පැවැසීය.
"ජපානයෙන් හා කොරියාවෙන් ලක්ෂ ගණනක පාපන්දු භාණ්ඩ තොගයක් ආධාර ලෙස ලැබුණා. ඒවා කිහිපදෙනෙක් රහසේ බෙදා ගත්තා. ක්‍රීඩකයින්ට ලැබුණේ නෑ. බංග්ලාදේශ සාෆ් තරගාවලියේදී කණ්ඩායමේ නිලධාරීන්, ක්‍රීඩකයින් අතර විශාල අර්බුද ඇතිවුණා. දිනන්න තිබුණු කුසලානය අහිමි වුණා. වැරැදි කරපු කිසිම නිලධාරීයෙකුට විරුද්ධව වැඩක් කළේ නෑ.
කලාපීය පාපන්දු සංවර්ධනය පිළිබඳ වසර දෙකක් තිස්සේ එක රැස්වීමක්වත් තියලා නෑ. මගේ පුද්ගලික මුදල් ලක්ෂ 25ක් විතර වියදම් කළා. කෝටි ගණන් ලැබෙන මුදල්වලින් පාපන්දු ක්‍රීඩාව දියුණු කරන්න පුළුවන්. සම්මේලනයේ කිසිම කෙනෙකුට වුවමනාවක් නෑ. හොරු ටික අයින් කළානම් පාපන්දු ක්‍රීඩාව දියුණු කළ හැකියි" යනුවෙන් වත්මන් පාපන්දු පරිපාලනයට හෙතෙම චෝදනා රැසක් ඉදිරිපත් කර සිටියේය.
"ෆුට්සාල් ක්‍රීඩාංගණ 06ක් හදන්න ෆීෆා ආධාර ලැබුණා. කිසිම දෙයක් අද වන තුරු කළේ නෑ. දැන් විශාල පාපන්දු ක්‍රීඩා සංකීර්ණයක් හදන්න ආධාර ලැබී තිබෙනවා. ඒකට උනන්දුවක් නෑ. විධායක කමිටුව ගන්නා තීරණ ක්‍රියාත්මක වෙන්නේ නෑ. විධායක කමිටු තීරණ කුණු කූඩයට යනවා.
පාපන්දු තාක්ෂණය හොඳ නම් අවසන් තරගාවලියේදී ගෝල් 20ක් අපට වදින්න බෑ. බීච් පාපන්දු වෙනුවෙන් කිසිම දෙයක් වෙලා නෑ. තරගාවලි කමිටුව තනි කෙනෙකුගේ වුවමනාවට සිදුවන්නේ. මෙතන කණ්ඩායම් හැඟීමෙන් වැඩක් වෙන්නේ නෑ. මේක අද හෙටම වෙනස් විය යුතුයි. නැත්නම් අපට ගමනක් නෑ.
තරගාවලි කමිටු සභාපතිවරයා හිතුවක්කාරී ලෙස වැඩ කරනවා. කණ්ඩායමකට දඬුවමක් දෙන්න කලින් එයා ඒක ප්‍රසිද්ධ කරනවා. ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භ කළේ ලීග් ක්‍රමයට. තරගාවලි කමිටු සභාපතිගේ කණ්ඩායම පරාජය වෙද්දී ඒක උඩට ගන්න නොකවුට් කියලා ක්‍රමය වෙනස් කළා.
මේවා ඉතිහාසයේ කවදාවත් වුණේ නැති දේවල්. බේරුවල සුපර් සන් පිලට විශාල අසාධාරණයක් කළා. වරදට දඬුවමක් කිරීම හරි. පාපන්දු සම්මේලනය නීතියට වැඩ කරනවා නම් ප්‍රශ්නයක් නෑ. අතින් වියදම් කරලා පාපන්දුවට කැපවූ සුපර් සන් පිල අතුගාලා දැම්මා.
විවිධ වරප්‍රසාද ගන්නා පිරිසක් සම්මේලනයේ ඉන්නවා. මේ අය කළමණාකරුවන් ලෙස රට සවාරි ගිහින් තියෙනවා. ඒත් සම්මේලනයෙන් ගත්ත මුදල් පියවා නෑ. කාටවත් කිසිම දඬුවමක් හෝ නිදහසට කරුණු විමසීමක් හෝ කර නෑ. අවසන් වරට පැවැති විධායක කමිටුවේදී ලක්ෂ 123ක් ඇඩ්වාන්ස් ගත්ත මුදල් වංචා සහගත ලෙස යට ගහන්න හැදුවා. මම ඒක හෙළි කළා.
චැම්පියන් ලීග් පාපන්දු කණ්ඩායමකට ලක්ෂ 04ක් දෙන්න යෝජනා වුණා. දුන්නේ ලක්ෂ 02යි. එෆ්.ඒ. පාපන්දු ක්‍රීඩා සමාජයකට ලක්ෂයක් දීලා ඒකෙන් විනිසුරුවන්ට මුදල් ගෙවන්න කිව්වා. පාපන්දු ක්‍රීඩා සමාජවලට කුඩම්මාගේ සැළකිලි" යැයි පුවනේන්ද්‍රන් මහතා වැඩිදුරටත් චෝදනා කළේය.