මොහොමඩ් හෆීස්ගේ වේගවත් පිතිහරඹය හේතුවෙන් ලෝක කුසලාන එක්දින තරගාවලියේදී සත්කාරක එංගලන්තයට එරෙහිව ලකුණු 14 ක තියුණු ජයක් හිමි කර ගැනීමට පාකිස්තානය සමත් විය. අඛණ්ඩව එක්දින තරග 10ක පරාජයකින් පසු පාකිස්තානය ලැබූ පළමු ජයග්රහණය මෙයයි.
නොටිංහැම්හිදී ඊයේ (03දා) පැවැති මෙම තරගයේදී පාකිස්තානයෙන් එල්ල වූ ලකුණු 349 ක දැවැන්ත ඉලක්කය හඹා ගිය එංගලන්තයට කඩුලු 09ක් දැවී රැස් කරගත හැකිවූයේ ලකුනු 334ක් පමණි. එංගලන්තය වෙනුවෙන් ජෝ රූට් ලකුණු 107ක් රැස් කළ අතර එම ශතකය සැළකෙන්නේ මෙවර ලෝක කුසලානයේදී පිතිකරුවෙකු වාර්තා කළ පළමු ශතකය ලෙසයි.
කෙසේ වෙතත් රූට් ලකුණු 09 ක් ලබා සිටියදී දවා ගැනීමට තිබූ අවස්ථාවක් පාකිස්තානයට අහිමි වූ අතර ඒ බාබර් අසාම් අතට ලබා දුන් උඩ පන්දුව ගිලිහී යාම නිසාවෙනි. මීට අමතරව පිතිකරුවන් දවා ගැනීමට තිබූ තවත් අවස්ථා කිහිපයක්ම මෙම තරගයේදී ගිලිහී ගිය අතර ඒ පාකිස්තාන පන්දු රැකීමේ අතිශය දුර්වල මට්ටමක හේතුවෙනි.
මීට අමතරව ජොස් බට්ලර් පන්දු 76කදී ලකුණු 103ක් රැස් කළේය. බට්ලර්ගේ පළමු ලෝක කුසලාන ශතකයද මෙය වේ. කෙසේ නමුත් අනෙකුත් පිතිකරුවන්ගෙන් සැළකිය යුතු දායකත්වයක් නොලැබීම එංගලන්ත පරාජයට හේතු වූ අතර පාකිස්තානය වෙනුවෙන් පන්දුවෙන් පීඩනය එල්ල කළ වහාබ් රියාස් කඩුලු 03ක් දවාලීය.
තරගයේ කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත ඇරැයුමින් පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තානු ක්රීඩකයින් සිය පන්දුවාර 50 අවසනදී කඩුලු 08 ක් දැවී ලකණු 348 ක් රැස් කළහ. එහිදී ඉමාම් උල් හක් හා ෆාකර් සමාන් පාකිස්තානය වෙනුවෙන් වේගවත් ආරම්භයක් ලබා දුන් අතර ඉනිමේ මැද භාගයේදී ශක්තිමත් පදනමක් එක් කිරීමට බාබර් අසාම්,මොහොමඩ් හෆීස් සහ සෆ්රාස් අහ්මඩ් සමත් වූහ.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ හෆීස් පන්දු 62කදී වේගවත් ලකුණු 84 ක් රැස් කළේය. ඊට අමතරව බාබර් අසාම් ලකුණු 63ක් හා නායක සෆ්රාස් අහ්මඩ් ලකුණු 55 බැගින් රැස් කළහ. පන්දු යැවීමෙන් මොයින් අලී හා ක්රිස් වෝක්ස් කඩුලු 03 බැගින් දවාලීය.
තරගයේ වීරයා සම්මානය හිමිවූයේ පාකිස්තාන වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ මොහොමඩ් හෆීස්ටය.
පාකිස්ථානය 348/8 (පන්දුවාර 50)
මොහොමඩ් හෆීස් 84 (62, 4x8,6x2), බාබර් අසාම් 63(66, 4x8,6x2), සෆ්රාස් අහ්මඩ් 55 (44, 4x5), මොයින් අලි 3/50(පන්දුවාර 10), ක්රිස් වෝක්ස් 3/71 (පන්දුවාර 8)
එංගලන්තය 334/9 (පන්දුවාර 50)
ජෝ රූට් 107 (104,4x10,6x1), ජොස් බට්ලර් 103 (76,4x9,6x2), ජොනී බෙයාර්ස්ටෝ 32 (31,4x4,6x1), වහාබ් රියාස් 3/82 (පන්දුවාර 10), ෂඩාබ් ඛාන් 2/63 (පන්දුවාර 10)