පාකිස්තානු සුපර් ලීග් (පී.එස්.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලිය මේ දිනවල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ඉතා උණුසුම්ව පැවැත්වේ.
එහි ඊයේ (16දා) පැවති ලාහෝර් ක්ලන්ඩර්ස් සහ ක්වේටා ග්ලැඩියේටර්ස් තරගයේදී, පාකිස්තානු හිටපු නායක සර්ෆ්රාස් අහ්මඩ් හා යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක ෂහීන් අෆ්රිඩි අතර ඇති වූ ආවේගශීලි කථාබහ මේ වනවිට පාකිස්තානු ක්‍රීඩා ලෝලීන් අතර දැඩි කථාබහකට ලක්ව ඇත.
එහි ග්ලැඩියේටර්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහරදෙමින් සිටි අතර, මෙම වචන හුමවාරුව සිදු වූයේ ෂහීන් අෆ්රිඩි යොමුකළ ඉනිමේ 19 වැනි පන්දුවාරයේදීය. මෙහිදී වමත් වේග පන්දු යවන අෆ්රිඩි යොමුකළ පන්දුවක් සර්ෆ්රාස්ගේ හිස්වැස්මේ වැඳීගියේය. කෙසේ නමුත් ඉන් ලකුණක් කරා දිවයාමට සර්ෆරාස් කටයුතු කළේය.
කෙසේ නමුත් ඉන් නොනැවතුණු සර්ෆ්රාස්, පන්දු යවන්නාගේ අන්තය පසුකර තරමක් ඉදිරියට ගොස්, අෆ්රිඩිට ආවේගශීලීව යමක් පැවසීය. රූපරාමු තුළින්ද ඒ බව දැකගැනීමට හැකිවිය. නමුත් සර්ෆරාස් පැවසූ දෙයට අකමැති වූ අෆ්රිඩි, තම හිටපු පාකිස්තාන නායකයා වෙත ගොස් මුහුණට මුහුණලා වචන හුවමාරුවක පැටළුණි. ඒ හේතුවෙන් විනිසුරුවරයාට හා කණ්ඩායමේ ක්‍රීඩකයන්ටද ඊට මැදිහත් වී තත්ත්වය පාලනය කිරීමට පවා සිදුවිය.
මෙම සිදුවීම සමාජ මාධ්‍යවල විවිධාකාරයෙන් හුවාදක්වා තිබූ අතර, එහිදී ඇතැම් ක්‍රීඩාලෝලීන් හිටපු නායකයෙකු මෙන්ම ශූරයන්ගේ කුසලානය වැනි ප්‍රධාන පෙළේ ශූරතාවක් පාකිස්තානයට දිනාදුන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකුට එරෙහිව දැක් වූ ආක්‍රමණශීලී ප්‍රතිචාර සහ හැසිරීම පිළිබඳ අෆ්රිඩිව විවේචනය කර ඇත.
කෙසේ නමුත් තවත් පිරිසක් අෆ්රිඩිගේ හැසිරිම සාධාරණීයකරණය කරමින් ඔහුගේ පැත්ත ගෙන තිබුණි.
විශ්ව මුදියන්සේ