ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ ටෙස්ට් තරගාවලියක් ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් අවසන් තීන්දුව තවත් සති 02ක් ඇතුළත ලබා ගැනීමට නියමිත බව 'අද'ට වාර්තා වේ. මෙහිදී පාකිස්තානයේ සංචාරය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා ඇතුළු පිරිස සකසන ලද වාර්තාව මීළඟ විධායක කමිටු රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතය.
කෙසේ වෙතත් තරගාවලියේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ බුද්ධි අංශ වාර්තාවක් පාකිස්තානයෙන් ලබා ගැනීමේ සුදානමක්ද පවතින බව අනාවරණය වේ.
අප මෙම සියලු කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතාගෙන් කරුණු විමසීමක් කළ අතර, එහිදී ඔහු පවසා සිටියේ එළඹෙන ඔක්තෝබර් මස තරගාවලිය පැවැත්වීමට දින නියම කරගෙන ඇති හෙයින් පාකිස්තානු සංචාරයේ ආරක්ෂාව සම්බන්ධයෙන් වන වාර්තාව කඩිනමින් අවසන් කර විධායක කමිටුවට ඉදිරිපත් කරන බවයි.
"අපි අධ්‍යයන සංචාරයේ වාර්තාව සකසමින් ඉන්නේ. අපේ බලාපොරොත්තුව මීළඟ විධායක කමිටු රැස්වීමට එය ඉදිරිපත් කිරීමටයි. අනතුරුව අපේ වාර්තාව සහ පාකිස්තානයෙන් ලබාගත් විශේෂ බුද්ධි අංශ වාර්තා සළකලා බලල තමයි පාකිස්තානයේ සංචාරය කරනවාද කියලා තීරණය කරන්නේ. කොහොමත් අපිට මේ සම්බන්ධයෙන් සතියක් දෙකක් ඇතුළත තීරණයක් ගන්න වෙනවා" යැයි ක්‍රිකට් ආයතන ලේකම්වරයා ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වීය.