සිය පළමු ලෝක කුසලාන ක්‍රිකට් තරගයේදී අර්ධ ශතකයක් රැස්කිරීමට තිබූ අවස්ථාව මඟහැරීම පිළිබඳ කනගාටුවට පත්වන බව ශ්‍රී ලංකා යොවුන් පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ඊයේ (25දා) පැවසීය.
ඩර්හැම්හි රිවර්සයිඩ් ක්‍රීඩාංගණයේදී ඊයේ පෙරවරුවේ පැවැති පුහුණු සැසිය අතරතුරදී අවිශ්ක වැඩිදුරටත් මෙසේද පැවසීය.
“ලෝක කුසලාන පළමු තරගයේදී ලකුණු 49ට දැවී ගිය එක ගැන ඇත්තටම දුකයි. එංගලන්ත පන්දු යවන්නන් ඒ අවස්ථාවේදී මට ඉදිරියට පන්දු යවන්නේ නෑ. මම දැවීගිය පන්දුවට සමාන පන්දු තමයි යවන්නේ. ඒ පහර පොඩ්ඩක් එහාට මෙහාට වුණා නම් ප්‍රතිඵලය වෙනස් වෙන්න තිබුණා. මම ඒ පන්දු රකින්නා දැක්කා. මම පහර ගැහුවෙ එතනට නෙමෙයි වෙන තැනකටයි. පොඩ්ඩක් වෙනස් වුණා.
පොඩි වයසින් ලෝක කුසලාන තරගාවලියකට ක්‍රීඩා කරන්න ලැබීම ලොකු සතුටක්. එය රැකගෙන ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. මම ඇත්තටම හිතුවෙ නෑ ලෝක කුසලාන සංචිතයට ඇතුළත් වෙයි කියලා. දකුණු අප්‍රිකනු සංචාරයෙන් පසුවත් ලෝක කුසලාන සංචිතයට ඇතුළත් වෙයි කියලා විශ්වාසයක් තිබුණේ නෑ”
ශ්‍රී ලංකා පිල එංගලන්තයට එරෙහිව ජය ලැබූ තරගයේදී අවිශ්ක අංක තුන පිතිකරු ලෙස පන්දු 39කින් හතරේ පහර හයක් සහ හයේ පහර දෙකක් සමගින් ලකුණු 49ක් රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිමේ පළමු පෙරළිකරු බවට පත්විය.
”එංගලන්තය කියන්නේ අංක එකේ කණ්ඩායම. ඔවුන්ගේ වේග පන්දු යවන්නන් 140ට වඩා වේගයෙන් පන්දු යවනවා. නමුත් මම බය නැතුව ක්‍රීඩා කළා. ඒ නිසා තමයි මට ලකුණු රැස් කරන්න හැකි වුණේ. එංගලන්ත පන්දු යවන්නන් හොඳට පන්දු යැව්වා. අමාරුවක් නෑ කියන්නම බෑ. බය නැතුව පන්දුවට පහර දීම නිසා ලකුණු රැස් කරන්න හැකි වුණා.
ඒ අවස්ථාවේ කඩුලූ දෙකක් දැවී තිබුණු නිසා මමත් දැවී ගියා නම් කණ්ඩායම තවත් පහළට වැටෙනවා. මගෙන් ලකුණු ආපු නිසා තමයි අපට උඩට එන්න පුළුවන් වුණේ. කුසල් අයියා (කුසල් මෙන්ඩිස්) සහ ඇන්ජි අයියා (ඇන්ජලෝ මැතිව්ස්) හොඳට බැට් කරපු නිසා ලොකු ලකුණු සංඛ්‍යාවකට එන්න හැකි වුණා.*
තවමත් 21 වැනිවියේ පසුවන අවිශ්ක සිය ක්‍රීඩා දිවිය පිළිබඳ මෙසේ අදහස් දැක්වීය.
‘‘“මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලටයි මම අඛණ්ඩව ක්‍රීඩා කළේ. මගේ පියා තමයි මාව ක්‍රිකට් ක්‍රීඩාවට යොමු කළේ. ඔහුට ආශාවක් තිබුණා මම ජාතික කණ්ඩායම නියෝජනය කරනවා බලන්න. මට එය ඉටු කරන්න හැකි වුණා.
මම කුඩා කාලෙ ඉඳන්ම වේගයෙන් පන්දුවට පහර දෙනවා. එය දිගටම තියෙනවා. ශ්‍රී ලංකා වයස 19න් පහළ එංගලන්ත සංචාරයේදී ශතක තුනක් රැස් කිරීම නිසා තමයි මට පළමුවෙන්ම ශ්‍රී ලංකා එක්දින පිලට එන්න අවස්ථාව ලැබුණේ.
මට 2016 වසරේ අගෝස්තු මස ඔස්ටේ්රලියාවට එරෙහිව පළමු තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලැබුණා. එම තරගයේදී මිචෙල් ස්ටාක් වැනි වේගපන්දු යවන්නෙකුට මුහුණදෙන විට මම ‘ඒ’ කණ්ඩායම හෝ නියෝජනය කර එවැනි වේග පන්දු යවන්නන්නට ක්‍රීඩා කරලා තිබුණේ නෑ. එහිදී මම ස්ටාක් හමුවේ දෙවැනි පන්දුවේදී දැවී ගියා.”
අවිශ්කට එම තරගයෙන් පසුව නැවත එක්දින තරගයක් ක්‍රීඩා කිරීමේ අවස්ථාව වසර දෙකහමාරකට පමණ පසු දකුණු අප්‍රිකාවට එරෙහිව මේ වසරේ මාර්තු මස හිමි විය.
“පළමු තරගයට සහභාගි වනවිට මගේ වයස අවුරුදු 18යි. ඉන්පසුව අවස්ථාව නොලැබුණත් මම හිතුවා මට වයස තියෙනවා කියලා. ඉන්පසුව ‘ඒ’ කණ්ඩායමේ සහ නැගී එන කණ්ඩායමේ සංචාරවලදී දස්කම් දැක්වීමෙන් තමයි නැවත අවස්ථාව ලැබුණෙ. අපේ වේගයෙන් පන්දු යවන්නන්ට සහ මැෂින්වල වේගය වැඩියෙන් ගහලා වේගපන්දුවට එරෙහිව පහරදීමට පුහුණුවීම් කළා" යැයි අවිශ්ක වැඩිදුරටත් පැවසීය.
අවිශ්ක ප්‍රනාන්දු වයස 15න් පහළ ක්‍රීඩකයෙකු ලෙස මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල වෙනුවෙන් ඉනිමකදී ත්‍රිත්ව ශතකයක් රැස්කරමින් කුඩා කලම අවධානය දිනාගත් ක්‍රීඩකයෙකි.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 35 වැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඩර්හැම්හි රිවර්සයිඩ් ක්‍රීඩාංගණයේදී අනිද්දා (28දා) පැවැත්වෙන තරගයට වර්ෂාවෙන් බාධා ඇති වීමට බොහෝ දුරට ඉඩ තිබේ.
ශ්‍රී ලංකා පිල ඊයේ (25දා) පෙරවරුවේ රිවර්සයිඩ් ක්‍රීඩාංගණයේ පුහුණු සැසියකට සහභාගි වූ අතර, එම පුහුණු සැසියට ශ්‍රී ලංකා පිලේ සියලුම ක්‍රීඩකයෝ සහභාගි වී සිටියහ.
ශ්‍රී ලංකා පුහුණු සැසිය අතරතුර පෙරවරු 11.30ට පමණ වර්ෂාව ඇදහැලුණු අතර, ඊයේ පෙරවරුවේ ඩර්හැම්හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 12ක පැවතුණි. කෙසේ වෙතත් එංගලන්ත ඉදිරි කාලගුණ අනාවැකි මේ මස 28 වැනිදා වර්ෂාවක් බලාපොරොත්තු විය නොහැකි බවට වාර්තා කර තිබේ.
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය දිවා තරගයක් ලෙස එංගන්ත වේලාවෙන් පෙරවරු 10.30ට ආරම්භ වීමට නියමිතය. මෙය මෙවර ලෝක කුසලාන තරගාවලියේ ඩර්හැම්හිදී පැවැත්වෙන පළමු තරගයද වේ.
යොහාන් භාසුර, එංගලන්තයේ ඩර්හැම් සිට