ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් ඉතාලියේ ෆ්ලොරන්ස්හි පැවති ඩයමන්ඩ් ලීග් මළල ශුරතා අදියරකදී මීටර් සියය ඉසව්වේ සිව්වැනි ස්ථානය දිනා ගැනීමට සමත්විය. ඒ මීටර් සියය ඉසව්වේ තත්පර 10.16 ක කාළයක් වාර්තා කරමිනි. එහි පෙරමුණ පොදුරාජ්‍ය මණ්ඩලයයීය මීටර් සියය ඉසව්වේ රන් පදක්කම හොබවන දකුණු අප්‍රිකාවේ අකානි සිම්බිනේ ට හිමිවූ අතර ඔහු නිමා කළ කාළය තත්පර 10.08කි. එහි දෙවැනි ස්ථානය එක්සත් රාජධානියේ චිජින්දු උජා විසින් (තත්පර 10.10) දිනා ගත් අතර තෙවැනි ස්ථානය ලයිබීරියාවේ එමානුවෙල් මටාඩි (තත්පර 10.16) විසින් හිමිකර ගත්තේය. කෙසේ වෙතත් යුපුන් හා ලෝකඩ පදක්කම දිනූ මටාඩි අතර තරග නිමා කිරීමේ කාළ පරතරය මිලිතත්පරයකින් දහයෙනු පංගුවක් වීම විශේෂත්වයකි. කෙසේ වෙතත් ජවන හා පිටින ඉසව් (Track and field) ඉසව් වලින් ලොව ප්‍රධාන පෙලේ තරගාවලියක් වන ඩයමන්ඩ් ලීග් මළල ක්‍රීඩා තරගාවලිය නියෝජනය කිරිමට සමත්වූ පළමු ශ්‍රී ලාංකිකයා වීමේ භාග්‍යයද යුපුන් මෙහිදී හිමිකර ගත්තේය. මේ අතර මෙම තරගයේදි දැක්වූ දක්ෂතා අනුව ලොව මීටර් සියය ධාවකයින් ශ්‍රේණිගත කිරිම්හි පළමු 50 දෙනා අතරට පැමිණිමට යුපුන් මෙහිදී සමත්විය.
මීටර් සියය ධාවන ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව හොබවන යුපුන් පසුගිය මැයි මාසයේදී එය පිහිටවූයේ තත්පර 10.15 කින් තරගය නිමා කරමිනි. තවමත් එළඹෙන ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබා නොමැති යුපුන්ට ඒ සඳහා තවත් තරගාවලි කිහිපයක් ඉතිරිව ඇත. කෙසේ වෙතත් මෙවර ඔලිම්පික් තරාගවලියේ මීටර් සියය ඉසව්වෙ පරිසාධන මට්ටම තත්පර 10.05 ක් වන අතර එය ඉක්මවුවහොත් යුපුන්ට කෙලින්ම ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලැබිය හැක.