ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය මගින් සංවිධානය කළ 97 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (18දා) නිමාවට පත් විය. මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා වාර්තා 03ක්, තරග වාර්තා 06ක් හා එක් තරග වාර්තාවක් සමකිරීමට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය මීටර 3000 බාධක දිවීම ඉසව්ව වි. 9.50.74කින් අවසන් කළ නිලානි රත්නායක (යුද හමුදාව) විසින් දිනා ගත් අතර, දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය දුර පැනීම ඉසව්වෙන් මී. 8.06ක දක්ෂතාවක් දැක්වූ ඩබ්.පී. අමිල ජයසිරි (යුද හමුදාව) විසින් දිනාගත්තේය. මෙහිදී අමිල (කාන්තා හෝ පිරිමි) කේවල ඉසව්වක ඉහළම දක්ෂතාව දැක්වූ ක්‍රීඩකයාට හිමි සම්මානයටද හිමිකම් කියූවේය.
දෙසැම්බර් මස නේපාලයේ පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල තරග වදින මලල ක්‍රීඩා කණ්ඩායම තේරීමේ තරගයක් ලෙසද මෙවර තරගාවලිය පැවැති අතර, ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500කට ආසන්න සංඛ්‍යාවක්ද සහභාගි වූහ.
තරගාවලියේ බිහිවූ ශ්‍රී ලංකා වාර්තා අතරින් පළමු වාර්තාව පිහිටුවීමට නිමාලි ලියනාරච්චි (ගුවන් හමුදාව) සමත් වූ අතර, ඒ ඇය මී. 1500 ඉසව්ව නියෝජනය කරමින් වි. 4.15.86ක දක්ෂතාවක් දක්වමිනි. නිමාලි මෙලෙස බිඳහෙළනු ලැබුවේ 2012 වසරේදී එන්.එම්.සී. දිල්රුක්ෂි (වි. 4.16.42) විසින් පිහිටුවා තිබූ වාර්තාවයි.
විදූෂා ලක්ෂානි තරගාවලියේ බිහිවූ දෙවැනි ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියුවාය. තුන්පිම්ම ඉසව්ව නියෝජනය කළ විදූෂා, 13.66ක දක්ෂතාවක් දැක්වූවාය. කෙසේ නමුත් විදූෂා (2017 වසරේ/ මී. 13.64) විසින් මෙලෙස බිඳහෙළනු ලැබුවේද ඇගේම වාර්තාවකි.
තරගාවලියේ වාර්තා වූ තෙවැනි හා අවසන් ශ්‍රී ලංකා වාර්තාව සත් ප්‍රයාම ඉසව්ව නියෝජනය කළ ඩබ්.වී.එල්. සුගන්ධි දිනාගත් අතර, ඇය ලකුණු 5128ක් දිනා ගනිමින් මෙම වාර්තාව පිහිටුවූවාය. කෙසේ නමුත් මෙහි මීට පෙර වාර්තාවද (2018/ ලකුණු 4911) සුගන්ධි සතු විය.
මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා - ඇමෙරිකා ද්විත්ව පුරවැසිභාවය හිමි ඇමෙරිකාවේ වාසය කරන හිරුණි විජේරත්නද සහභාගි වූ අතර, මීටර් 10,000 ඉසව්ව නියෝජනය කළ ඇය, මි. 35:30.0ක දක්ෂතාවක් දක්වමින් රන් පදක්කම දිනා ගත්තාය. හිරුණිගේ පළමු ජාතික මලල ක්‍රීඩා තරගාවලිය මෙයයි. මේ වන විට දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහාද ඇය සුදුසුකම් ලබා සිටින්නීය.
මෙවර තරගාවලියේ සිදුවූ තවත් සුවිශේෂී සිදුවීමක් වූයේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දේශීය මෙන්ම ජාත්‍යන්තර තරගාවලි කිහිපයකදීම රන් පදක්කම් මෙන්ම දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා ලෙසද අභිසෙස් ලැබූ ෂෙහාන් අඹේපිටිය, මීටර් 200 මූලික වටයේ තරගයකට සහභාගි වීමෙන් අනතුරුව ධාවන පථයට සමුදීමයි.
තරගාවලියේ පිරිනැමුනු අභියෝගතා ජයග්‍රාහකයන්
1 පිරිමි කඩුලු පැනීමේ ශූරයා - අසංක රත්නසේන (ගුවන් හමුදාව) - මී. 400 කඩුලු පැනීම/ තත්. 51.06
2 පිරිමි විසිකිරීමේ ඉසව් ශූරයා - සුමේධ රණසිංහ (යුද හමුදාව) - හෙල්ල විසිකිරීම/ මී. 80.76
3 පිරිමි පැනීමේ ඉසව් ශූරයා - ඩබ්.පී. අමිල ජයසිරි (යුද හමුදාව) - දුර පැනීම / මී. 8.06
4 පිරිමි කෙටි දුර දිවීමේ ශූරයා - අරුණ දර්ශන (යුද හමුදාව) - මී. 400/ තත්. 46.68
5 පිරිමි උස පැනීමේ ශූරයා - උෂාන් තිවංක (යුද හමුදාව) - උස පැනීම/ මී. 2.13
6 කාන්තා කෙටි දුර ධාවන ශූරිය - නදීෂා රාමනායක (යුද හමුදාව) - මී. 400/ තත්. 53.11
7 කාන්තා මැදි දුර දිවීමේ ශූරිය - නිලානි රත්නායක (යුද හමුදාව) - මී. 3000 බාධක දිවීම/ වි. 9.50.74
8 කාන්තා දිගු දුර දිවීමේ ශූරිය - හිරුණි විජේරත්න (ලංකා ලයන්ස්) - මී. 10000/ වි. 35.30.0
9 කාන්තා කඩුලු පැනීම ශූරිය - කෞෂල්‍යා මධුෂානි (යුද හමුදාව) - මී. 400/ වි. 58.16
10 කාන්තා පැනීමේ ඉසව් ශූරිය - එච්.ඩී. විදූෂා ලක්ෂානි (යුද හමුදාව) - තුන් පිම්ම/ මී. 13.66 (ශ්‍රී ලංකා වාර්තාවකි)
11 කාන්තා විසිකිරීමේ ඉසව් ශූරිය - නදීකා ලක්මාලි (යුද හමුදාව) - හෙල්ල විසිකිරීම/ මී. 57.19
12 පිරිමි මැදි හා දිගු දුර දිවීමේ ශූරයා - එච්.ඩී.එම්.අයි.ජී. ඉඳුනිල් හේරත් (යුද හමුදාව) - මී. 800/ වි. 1.49.01
13 කාන්තා ඕනෑම ඉසව්වක් වෙනුවෙන් දක්ෂතම ක්‍රීඩිකාව - නිලානි රත්නායක (යුද හමුදාව) - දුර පැනීම මී. 3000 බාධක දිවීම/වි. 9.50.74
14 පිරිමි ඕනෑම ඉසව්වක් වෙනුවෙන් දක්ෂතම ක්‍රීඩකයා - ඩබ්.පී. අමිල ජයසිරි (යුද හමුදාව) - දුර පැනීම/ මී. 8.06
15 තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාවට (කේවල ඉසව්) පිදෙන ශූරතාව - ඩබ්.පී. අමිල ජයසිරි (යුද හමුදාව) - දුර පැනීම/ මී. 8.06
ඡායාරූප - නිසල් බදුගේ