සත්කාරක පාකිස්තාන කණ්ඩායම පරාජය කර අබුඩාබිහිදී අද (19දා) අවසන් වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 04ක තියුණු ජයක් ලැබීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම සමත් විය.
නවසීලන්ත කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 175ක ඉලක්කයට පිළිතුරු ලෙස පාකිස්තානු පිතිකරුවන්ට පන්දුවාර 58.4කදී සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 171ක් පමණි. තරගය ජයග්‍රාහී කඩයිමට රැගෙන ඒමට සටනක නිරත වූ අසාර් අලි පාකිස්තාන ඉනිමේ අවසන් කඩුල්ල ලෙස දැවීයන විට ලකුණු 65ක් රැස්කරගෙන සිටියේය.
මෙහිදී අගනා පන්දු යැවීමක නිරත වූ අජාස් පටෙල් කඩුලු 05ක් බිඳලීමට සමත් විය. ඉන්දියාවේ උපතලබා පසුව නවසීන්තයට සංක්‍රමණය වූ ක්‍රීඩකයෙකු වන අජාස්ගේ පළමු ජාත්‍යන්තර ටෙස්ට් තරගය මෙය වීමද සුවිශේෂී වෙයි.
ෂෙයික් සයීඩ් ක්‍රීඩාංගණයේදී පසුගිය 16 වැනිදා ආරම්භ වූ මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායමට සිය පළමු ඉනිම වෙනුවෙන් රැස්කිර ගැනීමට හැකිවූයේ ලකුණු 153/10ක් පමණි.
ඊට පිළිතුරු ලෙස පාකිස්තාන කණ්ඩායම සිය පළමු ඉනිමට කඩුලු සියල්ලම බිඳවැටී ලකුණු 227ක් රැස්කිරීමට සමත්විය. අනතුරුව දෙවැනි ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 249ක් රැස්කළ අතර, ඒ අනුව පාකිස්තානයට ජයග්‍රහණය සඳහා ලකුණු 176ක ඉලක්කයක් හිමි විය. තරගයේ වීරයා ලෙස අජාස් පටෙල් සම්මාන දිනා ගත්තේය.