දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරේදා (15දා) පැවැති තරග ද්විත්වයකදී ඓතිහාසික කඩයිම් පසුකිරීමට ඉන්දියාවේ දීප්ති ෂර්මා හා පාකිස්තානයේ මුනීබා අලි සමත් වූහ.
ඉන් ඉන්දියාව හා බ.ඉ. කොදෙව් කණ්ඩායම් අතර තරගයේදී එක් සුවිශේෂී කඩයිමක් පසුකිරීමට ඉන්දියාවේ දීප්ති ෂර්මා සමත් වූවාය. ඇය මෙම තරගයේදී කඩුලු 03ක් දවාගනිමින් ජාත්‍යන්තර විස්සයි20 කාන්තා ක්‍රිකට් පිටියේ කඩුලු සියයක් දවාලූ පළමු ඉන්දීය ක්‍රීඩිකාව ලෙස වාර්තා අතරට එක්වූවාය.
25 හැවිරිදි වියේ පසුවන ෂර්මා, 2016 වසරේ සිට ඉන්දීය විස්සයි20 කණ්ඩායම නියෝජනය කරන මේ වන විට ඉනිම් 87කට ක්‍රීඩාකර ඇත. මේ දක්වා ඇගේ හොඳම පන්දු යැවීම වන්නේ 4/10ක් ලෙස කඩුලු දවාගැනීමයි.
කෙසේ නමුත් විස්සයි20 කාන්තා ක්‍රිකට් පිටියේ කඩුලු සියයේ කඩයිම පසුකළ 10වැනි ක්‍රීඩිකාව දීප්ති ෂර්මාය. මේ දක්වා වැඩිම විස්සයි20 කඩුලු සංඛ්‍යාවක් දවාගෙන ඇත්තේ බ.ඉ. කොදෙව් ක්‍රීඩිකා අනීෂා මොහොමඩ් වන අතර, ඇය ඉනිම් 113කදී කඩුලු 125ක් බිඳහෙලා සිටියි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම විස්සයි20 කඩුලු සංඛ්‍යාවක් දවාගෙන ඇත්තේ මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගෙන සිටින ශෂිකලා සිරිවර්ධන වන අතර, ඇය ඉනිම් 78කදී කඩුලු 77ක් බිඳහෙලා ඇත. එය වැඩිම කඩුලු දවාලූ පන්දුයවන්නියන් අතර 19වැනි ස්ථානයයි.
මේ අතර අයර්ලන්තය හා පාකිස්තානය අතර තරගයේදී අනෙක් සුවිශේෂී කඩයිම පසුකිරීමට පාකිස්තාන ආරම්භක පිතිකාරිණී මුනීබා අලි සමත් වූවාය. ඇය පාකිස්තාන ඉනිම ගොඩනැගීමේදී පන්දු 68කට පමණක් මුහුණදෙමින් ලකුණු 102ක් රැස්කිරීමට සමත් වූවාය.
විස්සයි20 තරගයක ශතකයක් රැස්කළ පළමු පාකිස්තානු ක්‍රීඩිකාව ලෙසින් ඇගේ ඉනිම වාර්තා අතරට එක්වූ අතර, විස්සයි20 කාන්තා ලෝක කුසලාන තරගාවලියකදී එවැනි දස්කමක් දැක් වූ 06වැනි පිතිකාරිණිය ලෙසින්ද මුනීබාගේ ඉනිම වාර්තා අතර සටහන් විය.