ඔස්ට්‍රේලියාව වෙනුවෙන් එක්දින ලකුණු 6000 සීමාව වේගයෙන්ම පසුකළ ක්‍රීඩකයා ලෙස ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් ක්‍රිකට් වාර්තා අතරට එක්විය. එංගලන්තයට එරෙහිව මෙල්බන්හිදී අද (22දා) පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින තරගයේදී ලකුණු 106ක් රැස්කරමින් වෝනර් මෙම වාර්තාවට ලගාවිය.
මේ වනවිට එක්දින ඉනිම් 139කදී ලකුණු 6007ක් රැස්කරගෙන සිටින වෝනර්, බිඳලනු ලැබුවේ මැතිව් හේඩ්න් 2008 වසරේදී ඉනිම් 154කදී ලකුණු හයදහසේ සීමාව වේගයෙන්ම පසුකර ගොස් තිබූ වාර්තාවයි.
මේ අතර වෝනර් අද (22දා) වාර්තා කළ ශතකය සැලකෙන්නේ ඔහු දින 1042කට පසු වාර්තාකළ පළමු ශතකය ලෙසිනි. අවසන් වසර ඔහු එක්දින ශතකයක් වාර්තා කර තිබුණේ 2020 වසරේදී ජනවාරි මසදී ඉන්දියාවට එරෙහිවය. මෙම වසරේ ඔස්ට්‍රේලියාව සිදුකළ ශ්‍රී ලංකා සංචාරයේ 04 වැනි එක්දින තරගයේදීද ඔහු අවාසනාවන්ත ලෙස ලකුණු 99කට දැවී ගියේය.
මේ වනවිට එක්දින ඉනිම් 139කදී වෝනර් ශතක 19ක් හා අර්ධ ශතක 27ක් වාර්තා කර ඇත.
මේ අතර මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණු 355ක් රැස්කිරීමට සමත් විය.
වර්ෂාව හේතුවෙන් පන්දුවාර 48කට සීමාවූ මෙම තරගයේ වෝනර් හා ආරම්භක පිතිකරු ට්‍රැවිඩ් හෙඩ් (152) පළමු කඩුල්ලට ලකුණු 269ක සබඳතාවක් පැවැත්වූ අතර, එය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් වාර්තා වූ 13 වැනි ඉහළම ලකුණු සබඳතාව වෙයි.
ක්‍රිස් ගේල් හා මාලන් සැමුවෙල්ස් 2015 වසරේදී සිබ්බාබ්වේට එරෙහිව ලකුණු 372ක සබඳතාවක් ගොඩනැගීම ජාත්‍යන්තර එක්දින පිටියේ ඉහළම ලකුණු සබඳතාව වෙයි.
උපුල් තරංග හා සනත් ජයසූරිය 2006 වසරේදී එංගලන්තයට එරෙහිව ලකුණු 286ක් හා උපුල් තරංග හා තිලකරත්න ඩිල්ෂාන් 2011 වසරේදී සිම්බාබ්වේට එරෙහිව ලකුණු 282ක් ලෙසත් සබඳතා ගොඩනගා මෙම වාර්තා ලැයිස්තුවේ පිළිවෙලින් 07 වැනි හා 10 වැනි ස්ථානයන්හි රැඳී සිටියි.