ඉන්දුනීසියාවේ ජාකර්තා නුවර ගිලෝරාබං කර්නෝ ක්රීඩාංගණයේ පැවැත්වෙන 03 වැනි ආසියානු පැරා ක්රීඩා උළෙලේ මලල ක්රීඩා සිවුවැනි දිනය වූ ඊයේ (11දා) සවස් වන විට ශ්රී ලංකා පදක්කම් සටහන 13 දක්වා ඉහළ නැංවීමට ශ්රී ලංකා ක්රීඩකයෝ සමත් වූහ. මෙහිදී ඊයේ සවස් වන විට තවත් පදක්කම් තුනක් (රන් 01, රිදී 01 හා ලෝකඩ 01) දිනා ගැනීමට ශ්රී ලංකාව නියෝජනය කළ ක්රීඩකයෝ සමත් වූහ.
මෙහිදී ශ්රී ලංකාව වෙනුවෙන් තවත් රන් පදක්කමකට හිමිකම් කීමට හෙල්ල විසිකිරීම F46 කාණ්ඩයෙන් තරග කළ දිනේෂ් ප්රියන්ත හේරත් සමත් වූයේ මීටර් 61.84ක දුරක් වාර්තා කරමිනි.
එය මෙම තරගාවලියේ නව තරග වාර්තාවක්ද විය. දිනේෂ් 2016 වර්ෂයේ රියෝහිදී පැවැති පැරාලිම්පික් තරගාවලියේදී ශ්රී ලංකාව වෙනුවෙන් ලෝකඩ පදක්කම දිනාගත් ක්රීඩකයාද වේ. එමෙන්ම ඔහු පසුගිය වර්ෂයේ ලෝක ශූරතා පැරා තරගාවලියේදී රිදී පදක්කම දිනා ගත්තේය.
කෙසේ වෙතත් පසුගිය ඔලිම්පික් තරගාවලියේදී ප්රියන්ත අභිභවමින් රන් පදක්කම දිනාගත් ඉන්දියාවේ දේවේන්ද්ර හා 2017 ලෝක ශූරතාවේ රන් පදක්කම දිනාගත් ගුර්ජාර් සුන්දර් සිංද දිනේෂ් හමුවේ පරාජයට පත්වූ අතර, එහිදී ගුර්ජාර් සුන්දර් සිං රිදී පදක්කම දිනා ගැනීම හා දේවේන්ද්ර සිවුවැනි ස්ථානයට පත්වීම විශේෂත්වයකි.
එමෙන්ම යගුලිය විසිකිරීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගැනීමට පාලිත බණ්ඩාර සමත් වූයේ මීටර් 13.21ක දුරක් වාර්තා කරමිනි. එහි රන් පදක්කම ඉරානයේ මොහොමදියාන් සජාඩ් විසින් හිමිකර ගත්තේ මීටර් 15.27ක දුරක් වාර්තා කරමිනි.
මේ අතර, ආසියානු පැරා තරගාවලි ඉතිහාසයේ පළමු වතාවට රොද පුටු ටෙනිස් ඉසව්වෙන් ශ්රී ලංකාවට පදක්කමක් දිනා දීමට සුරේෂ් රණවීර හා රංජන් ධර්මදාස සමත් වූහ. ඒ පිරිමි යුගල ඉසව්වේදී ලෝකඩ පදක්කම දිනා ගනිමිනි. ඔවුන් හමුවේ අවසන් තරගයේදී තායිලන්ත යේ ක්ලොන්ග්රැ සුති හා ශ්රිඩෙන්ග් සුන්තොන් තරග වට 2-0 (6-1,6-2)ක් ලෙස පරාජයට පත්වූහ.