ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආසන්නතම සභාපති වශයෙන් ක්‍රිකට් විධායක කමිටුව නියෝජනය කිරීමේ අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික මිනිස් අයිතිවාසිකම් (Fundamental Rights) නඩුවක් ගොනු කර ඇති බව 'අද'ට වාර්තා වේ.
හිටපු සභාපති තිලංග සුමතිපාල මහතාට ක්‍රිකට් විධායක කමිටුව නියෝජනය කිරීමේ අවස්ථාව අහිමිව ගියේ හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රීඩා පනතට ගෙන ආ නව රෙගුලාසි සංශෝධනයක් හේතුවෙනි.
එනම් ගැසට් අංක 2137/85 අතිවිශේෂ ගැසට් පත්‍රයේ සඳහන් වනුයේ,
2016.10.27 දිනැති අංක 1990/23 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ ක්‍රීඩා නියෝගයන්ට අදාළ 5(4) නියෝගයේ (ග) උපවගන්තිය ඉවත් කර ඊට පහත දැක්වෙන උපවගන්තිය ආදේශ කිරීමෙන්
“(ග) ඔට්ටු ඇල්ලීමේ, සූදු ක්‍රීඩාවේ, පරදු තැබීමේ ව්‍යාපාරයක හෝ කිසියම් තරගයකට සම්බන්ධතාවක් ඇති ඔට්ටු ඇල්ලීමේ හෝ සූදු ක්‍රීඩාවේ හෝ පරදු තැබීමේ ව්‍යාපාරයක හෝ එවැනි තරග සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනයක හෝ ආයතනයන්හි එදිනෙදා කටයුතුවල නියැලී සිටින තැනැත්තෙක් හෝ ඔහුගේ පවුලේ ඕනෑම පූර්වාසන්න සාමාජිකයෙකු (කලත්‍රයා, මව, පියා, සහෝදරයෙක්, සහෝදරියක්, පුතා, දුව, බෑණා, ලේලිය) වන්නේ නම්,' එම පුද්ගලයාට ජාතික ක්‍රීඩා සංගමයක තනතුරක් දැරිය නොහැකිය බවයි.
1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 39(1) වගන්තිය යටතේ ක්‍රීඩා අමාත්‍යවරයාට පැවරී ඇති බලතල අනුව හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා මෙම තීන්දුව ගෙන තිබුණි.
ක්‍රිකට් ආයතනය වෙත යොමු කළ අදාළ ලිපියේ සඳහන්ව ඇත්තේ හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාට ක්‍රිකට් ආයතනයේ ආසන්නතම හිටපු සභාපතිවරයා (Immediate Past President) වශයෙන් ක්‍රිකට් විධායක කමිටු රැස්වීම්වලට සහභාගී වීම, එම රැස්වීම්වල පෙනී සිටීම, ඡන්දය භාවිත කිරීම, කුමනාකාරයේ හෝ කමිටු රැස්වීම් කටයුතුවල නියැළීම, කුමනාකාරයේ හෝ බලයක් ක්‍රියාත්මක කිරීම, නියෝජිතයෙකු ලෙස කටයුතු කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.
එමෙන්ම පිළියන්දල ක්‍රීඩා සමාජය (Piliyandala Town Sports Club) අගෝස්තු මස 30 වැනිදා යොමු කළ පැමිණිල්ලට අනුව මෙම තීන්දුව ගත් බවත්, එම පැමිණිල්ල විමර්ශනය සඳහා ත්‍රිපුද්ගල විමර්ශන මඩුල්ලක් පත් කළ බවත් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා යොමු කළ ලිපියේ වැඩිදුරටත් සඳහන්ව තිබුණි.
ඒ අනුව ක්‍රීඩා පනතේ 39(3) වගන්තිය ප්‍රකාරව ක්‍රීඩා අමාත්‍යවරයා පත් කල ත්‍රිපුද්ගල විමර්ශන මඩුල්ලේ සභාපතිවරයා ලෙස ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ධම්මික මුතුගල මහතාද, එහි ලේකම් ලෙස ක්‍රීඩා අමාත්‍යංශයේ නීති නිලධාරී ශිරෝමි රණවක මහත්මියද, සාමාජිකයෙකු ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරී, නීතිඥ එස්. ඩී. පියදාස මහතාවද පත් කර තිබුණු අතර, ඔවුන් විමර්ශනයේ අවසන් වාර්තාව ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ලබාදුන්නේ ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතාට ක්‍රීඩා පරිපාලනය සඳහා සහභාගී විය නොහැකි බව නිර්දේශ කරමිනි.