තලේබාන් සංවිධානය කාබුල් නුවර බලය සියතට ගැනීමත් සමග ඇෆ්ගනිස්ථානයේ යුද්ධය අවසන් විය. යුද්ධය අවසන් වුවත්, දැඩි හිංසාවාදී පාලනයක් ඇති තලේබාන් සංවිධානය ඉදිරියේදී රට තුළ සිදුකරන්නා වූ වෙනස්කම් අනුව එරට ක්‍රීඩාවට කුමන බලපෑමක් එල්ලවනු ඇත්දැයි කිව නොහැක.
පසුගිය දශකය තුළ ඇෆ්ගනිස්ථානය විවිධ වූ ක්‍රීඩාවන්ගෙන් දක්ෂතා දැක් වූ අතර, ක්‍රිකට් ක්‍රීඩාව ඒ අතරින් සුවිශේෂී වෙයි. ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ අතිවිශාල ප්‍රගතියක් ඇෆ්ගනිස්ථානය අත්කරගෙන සිටින අතර, එය කොතෙක්ද යත් ඔවුන් එළඹෙන විස්සයි20 ලෝක කුසලානයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් අටෙන් එකකි. ශ්‍රී ලංකාව පවා මෙවර විස්සයි20 ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමට නම් ඊට පළමුව සුදුසුකම් ලැබීමේ තරග ජයගත යුතුව ඇත. නමුත් ඇෆ්ගනිස්ථානය ඒ සඳහා ඍජුව සුදුසුකම් ලබා සිටින අතර, එය බංග්ලාදේශයට පවා කළ නොහැකි වූ දස්කමකි. එමෙන්ම ඇෆ්ගනිස්ථාන යොවුන් කණ්ඩායම 2017 ආසියානු වයස 19න් පහළ ක්‍රිකට් ශූරයෝද වූහ.
එරට පාපන්දු කණ්ඩායමද ජාත්‍යන්තරයේ කැපී පෙනෙන කණ්ඩායමකි. ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි ඇෆ්ගනිස්ථානය 150වැනි ස්ථානය හිමිකර ගනිද්දී, ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 206වැනි ස්ථානයයි. එමෙන්ම මාලදිවයින (155), නේපාලය (171), පාකිස්තානය (206) පවා සිටින්නේ ඇෆ්ගනිස්ථානයට පසුපසිනි.
ඇෆ්ගනිස්ථානය දැඩි මතධාරී ඉස්ලාමීය රාජ්‍යයක් වුවද, තලේබාන් සංවිධානය නිහඬව සිටි කාලය තුළ එරට කාන්තාවන්ට ක්‍රීඩා සඳහා ඉදිරිපත් වීමට වාසනාව උදා විය. විශේෂයෙන් එරට කාන්තා පාපන්දු, වොලිබෝල්, පිහිනුම් හා ක්‍රිකට් කණ්ඩායම් පවා බිහි විය.
කෙසේ නමුත් තලේබාන් යනු කාන්තාවන්ට සමාජයේ ඉදිරියට පැමිණීමට අවස්ථාව නොදෙන සංවිධානයකි. යල් පැනගිය ඉස්ලාමීය මත දරන තලේබාන් සංවිධානයේ නිර්දේශය නම් කාන්තාවන්ට ක්‍රීඩාව මෙන්ම අධ්‍යාපනය පවා තහනම් බවයි. එනිසා ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ට නම් ඉදිරියේදී අවාසනාවන්ත කාලයක් උදාවනු ඇති බව නොඅනුමානය. ඒ අනුව සමස්ත ඇෆ්ගනිස්ථාන ක්‍රීඩාවේ අනාගතය දැඩි ලෙස ව්‍යාකූල වනු ඇත.
මේ අතර සටන්කාමීන් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්රීඩාංගණයන්හී පාලනයද සියතට ගෙන සිටින බැවින්, තවත් මාස දෙකක් වැනි කෙටි කාලයකදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානය පිළිබඳ ඇෆ්ගන් ක්‍රිකට් කණ්ඩායමේ බලාපොරොත්තු බොඳ කරනු ඇත.
ඇෆ්ගනිස්ථානයෙන් විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම ලොවට දායාද වූ අතර, රෂීඩ් ඛාන්, මුජීබ් උර් රහ්මාන්, මොහොමඩ් නබි එරටින් බිහි වූ සුපිරි ක්‍රිකට් තරුය. ඔවුන් මේ වන විටත් එංගලන්තයේ පැවැත්වෙන "The Hundred" තරගාවලියට සහභාගි වී සිටී. කෙසේ නමුත් ඔවුන් හැරෙන්න කණ්ඩායමේ සෙසු සියලුදෙනා මේ වනවිටත් සිටින්නේ ඇෆ්ගනිස්ථානයේය. එය විස්සයි20 ලෝක කුසලානයට සූදානම් වන ඇෆ්ගනිස්ථානයේ බලාපොරොත්තු බිඳ දමන්නක් වනු ඇත.
තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථාන බලය අල්ලා ගැනීමට ආසන්න දිනකදී රෂීඩ් ඛාන් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ලෝක නායකයන්ගෙන් ඉල්ලා සිටියේ, තම රට බේරා ගන්නා ලෙසයි.
"හිතවත් ලෝක නායකයිනි!, මගේ රට අවුල් ජාලයක පවතින්නේ. දරුවන් සහ කාන්තාවන් ඇතුළුව දහස් ගණනින් අහිංසක මිනිසුන් දිනපතා දිවි පුදමින් සිටිනවා. නිවාස සහ දේපළ විනාශ වෙනවා. පවුල් දහස් ගණනක් අවතැන් වී තිබෙන්නේ. අපිව අවුල් ජාලාවක් කරන්න එපා. ඇෆ්ගන් ජාතිකයන් මැරීම සහ ඇෆ්ගනිස්ථානයේ ධජය විනාශ කිරීම නවත්වන්න. අපට අවශ්‍ය සාමයයි" යනුවෙන් එහි දක්වා තිබුණි.