එංගලන්තය අයි.සී.සී. ශ්‍රේණිගත කිරීම්හි ඉහළින් සිටින නිසා අවතක්සේරු කළ නොහැකි කණ්ඩායමක් වුවත්, ඔවුන්ට අභියෝගයක් වී තරගාවලිය ජයගැනීමට හැකි සෑම උත්සාහයක්ම ගන්න බව ශ්‍රී ලංකා නායක කුසල් ජනිත් පෙරේරා පැවසීය.
එක්දින හා විස්සයි20 තරග සංචාරයක් සඳහා ක්‍රීඩකයන් 24 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (09දා) අළුයම එංගලන්තය බලා දිවයිනෙන් පිටත්ව ගිය අතර, එහිදී ඔහු මෙම තරගාවලිය සඳහා කණ්ඩායමේ ඇති සූදානම සම්බන්ධයෙන් කළ විමසීමේදී මේ බව පවසා සිටියේය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ කුසල් පවසා සිටියේ, ශ්‍රී ලංකා කණ්ඩායම තරුණ ක්‍රීඩකයන්ට වැඩි අවස්ථාවක් ලබාදී තිබුණත් ඔවුන් ඉතා දක්ෂ ක්‍රීඩකයන් බවයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ කුසල්,
"බංග්ලාදේශ සංචාරයේදී අපට වාසිදායක දේවල් ගොඩක් ලබාගැනීමට හැකිවුණා. එම තරගාවලියෙන් පසු අපට පුහුණුවීම් කිරීමට විවේකයක් ලැබුණා. ඒ නිසා එංගලන්ත සංචාරයට හොඳ සූදානමක් තිබෙනවා.
ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව හොඳයි. එංගලන්තයට ගිහිල්ලත් ටික දවසක් ඉන්න ලැබෙනවා. තරුණ කණ්ඩායමක් ඉන්නේ. නමුත් ගොඩක් හොඳ ක්‍රීඩකයෝ ඉන්නවා. කණ්ඩායම හොඳ සූදානමකින් ඉන්නවා. ඒ නිසා ගොඩක් හොඳ තරගාවලියක් ක්‍රීඩාකරන්න හැකිවෙයි කියලා හිතනවා.
එංගලන්ත කණ්ඩායම මේ වනවිට අයි.සී.සී. ශ්‍රේණිගත කිරීම්හි ගොඩක් ඉහළින් ඉන්නේ. ඒ නිසා අපට කොහොමත් ඔවුන්ව අවතක්සේරු කරන්න බැහැ. ඒ වගේම ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ කිහිප දෙනෙක්ම ඉන්නවා. කෙසේ නමුත් අපි බලන්නේ කොහොම හරි ඔවුන්ට අභියෝගයක් වෙලා තරගාවලිය ජයගන්න" යැයි කුසල් පැවසීය.
ශ්‍රී ලංකා - එංගලන්ත තරගාවලියට එක්දින හා විස්සයි20 තරග තුන බැගින් ඇතුළත්ව ඇත. මේ සඳහා ක්‍රීඩකයන් 24 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දිවයිනෙන් පිටත්ව ගියේය. ක්‍රීඩක කොන්ත්‍රාත් අත්සන් කිරීමේ ගැටළුව හේතුවෙන් මෙම සංචාරය මතභේදයට තිඩු දී තිබූ අතර, ඒ හේතුවෙන් තරගාවලිය සඳහා තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය ක්‍රිකට් ආයතනය විසින් මාධ්‍ය වෙත දන්වා සිටියේ කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යාමට පැය කිහිපයක් තිබියදීය.
දෙරට අතර පළමුව විස්සයි20 තරග පැවැත්වෙන අතර, එම තරග මේ මස 23, 24 හා 26 දිනවලදී පැවැත්වේ. එමෙන්ම එක්දින තරග ජූනි 29 හා ජූලි 01, 04 දිනවලදී පැවැත්වීමට නියමිතව ඇත.
ශ්‍රී ලංකා සංචිතය
01. කුසල් ජනිත් පෙරේරා (නායක), 02. කුසල් මෙන්ඩිස්, 03. ධනුෂ්ක ගුණතිලක, 04. අවිෂ්ක ප්‍රනාන්දු, 05. පැතුම් නිශ්ෂංක, 06. නිරෝෂන් දික්වැල්ල, 07. ධනංජය ද සිල්වා, 08. ඔෂධ ප්‍රනාන්දු, 09. චරිත් අසලන්ක, 10. දසුන් ශානක, 11. වනිඳු හසරංග, 12. රමේෂ් මෙන්ඩිස්, 13. චාමික කරුණාරත්න, 14. ධනංජය ලක්ෂාන්, 15. ඉෂාන් ජයරත්න, 16. දුෂ්මන්ත චමීර, 17. ඉසුරු උදාන, 18. අසිත ප්‍රනාන්දු, 19. නුවන් ප්‍රදීප්, 20. බිනුර ප්‍රනාන්දු, 21. ශිරාන් ප්‍රනාන්දු, 22. ලක්ෂාන් සඳකැන්, 23. අකිල ධනංජය, 24. ප්‍රවීන් ජයවික්‍රම