2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ තෙවැනි දිනය වූ ඊයේ (26දා) දිනයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න හා ජූඩෝ ක්‍රීඩක චාමර නුවන් ධර්මවර්ධන සහභාගි වූ අතර, ඔවුන් දෙදෙනාටම සැලකිය යුතු දක්ෂතාවක් දැක්වීමට නොහැකි විය.
මැතිව්ගේ තරගය අද ප.ව. 3.30ට
පිහිනුම් ක්‍රීඩක මැතිව් අබේසිංහ සහභාගිවන මූලික වටයේ පළමු තරගයට අද (27දා) සහභාගිවන අතර, එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 3.30ට ආරම්භ වීමට නියමිතව ඇත. මැතිව්, මී. 100 නිදහස් ආර ඉසව්වෙන් තරග වඳිනු ලබයි.
බිඳවැටුණු ජූඩෝ බලාපොරොත්තුව
නිපෝන් බුඩෝකන් ක්‍රීඩාංගණයේ ඊයේ (26දා) පැවති ජුඩෝ කි.ග්රෑ. 73 බර පන්තියේ තරගයකට චාමර නුවන් ධර්මවර්ධන සහභාගි වූ අතර, එහිදී ඔහුට ප්‍රතිවාදී ක්‍රීඩකයා ඉදිරියේ සටනක් නොදීම පරාජය වීමට සිදුවිය. අවසන් 32 දෙදෙනාගේ වටයේ තරගයක් ලෙස මෙය පැවති අතර, එහිදී ඔහු ජිබෝති රාජ්‍යයේ ඒඩන් ඇලෙක්සැන්ඩර් හොසේන් හමුවේ ලකුණු 10-0ක් ලෙස පරාජය විය.
ජූඩෝ ක්‍රීඩාවේ ලකුණු 10ක් පිරිනැමෙන %Ippon^ අවස්ථාවකින් ජිබොති ක්‍රීඩකයා සිය ජයග්‍රහණය තහවුරු කරගත්තේය. මෙම තරගය තත්ත්පර 29කින් අවසන්වීමද සුවිශේෂී විය. කෙසේ නමුත් ජූඩෝ ක්‍රීඩාවේ අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු වන චාමර, මීට වසර 05කට පෙර බ්‍රසීලයේ පැවති රියෝ ඔලිම්පික් උළෙලේදී 09 වැනි ස්ථානය දිනාගත්තේය.
නිලූක යළිත් පසුබසියි
මූලික වටයේ දෙවැනි තරගයටද සහභාගි වූ ශ්‍රී ලංකාවේ නිලූක කරුණාරත්නටද අයර්ලන්ත ක්‍රීඩකයා හමුවේ 21/16, 21/14ක් ලෙස තරග වට 2-0කින් පරාජය වීමට සිදුවිය. ඒ අනුව නිලූකට ඔලිම්පික් උළෙල තුල තවදුරටත් රැඳී සිටීමේ බලාපොරොත්තු අතහැර ගැනීමට සිදුවිය.
නිලූක වත්මන් බැඩ්මින්ට ශ්‍රේණිගතකිරීම්හි 117 වැනි ස්ථානයේ පසු වූ අතර, නට් ගුයෙන් එහි රැඳී සටියේ 54 වැනි ස්ථානයේය. 21 හැවිරිදි ගුයෙන් අයර්ලන්තය නියෝජනය කළත්, ඔහු උපතින් වියට්නාම ජාතිකයෙකු වෙයි. %එෆ්^ කාණ්ඩයෙන් තරගකළ නිලූක එම වටයේ මුහුණදුන් පළමු තරගයෙන් ලෝක ශ්‍රේණිගත කිරීම්හි 10 වැනි ස්ථානයේ පසු වූ චීන තායිපේ සූ-වෙයි වැන් හමුවේ තරග වට 2-0කින් පරාජය විය.
ජපාන රන් බලාපොරොත්තුවක් බිදවැටෙයි
සත්කාරක ජපානය බලාපොරොත්තුව සිටි රන් පදක්කමක් වූ කාන්තා ටෙනිස් තරගයෙන් නයෝමි ඔසාකාට තරග වට 2-0ක පරාජයක් ලැබීමට අද (27දා) සිදුවිය.
ලොව අංක දෙකේ ටෙනිස් ක්‍රීඩිකාව වූ නයෝමි මෙහිදී පරාජය වූයේ ලෝක ශ්‍රේණිගත කිරීම්හි 43 වැනි ස්ථානයේ පසුවන චෙක් ජනරජයේ මාකෙටා වොන්ඩ්‍රොසෝවා හමුවේය.
ඔලිම්පික් පුරාවෘතයක් වූ ඔක්සානා
ඔලිම්පික් ඉතිහාසයේ සුවිශේෂී සංදිස්ථානයක් පසුකරමින් සිය 08 වැනි ඔලිම්පික් උළෙලෙන් තරග බිමෙන් සමුගැනීමට ජිම්නාස්ටික් ක්‍රීඩිකා ඔක්සානා චුසොවිටිනා සමත් වූවාය. මේ වනවිට 46 වැනි වියේ පසුවන චුසොවිටිනා, රටවල් තුනක් නියෝජනය කරමින් මෙම දක්ෂතාව දැක්වීමද සුවිශේෂී වෙයි.
ඔක්සානා, 1992 වසරේදී එවක සෝවියට් සමූහය නියෝජනය කරමින් කණ්ඩායම් රන් පදක්කමක් දිනූ ක්‍රීඩිකාවක වෙයි. කෙසේ නමුත් ඉන් අනතුරුව ජර්මනිය නියෝජනය කරමින් ඔලිම්පික් උළෙලට සහභාගි වූ ඔස්සානා, මෙවර උස්බෙකිස්තානය නියෝජනය කරමින් සහභාගි වූවාය. ඇය බාසිලෝනා (1992/ස්පඤ්ඤය), ඇට්ලැන්ටා (1996/ඇමරිකාව), සිඩ්නි (2000/ඔස්ට්‍රේලියාව), ඇතෑන්ස් (2004/ග්‍රීසිය), බීජිං (2008/චීනය), ලන්ඩන් (2012/ මහා බ්‍රිතාන්‍ය) හා රියෝ (2016/බ්‍රසීලය) යන ඔලිම්පික් උළෙල නියෝජනය කර ඇත.
මහා බ්‍රිතාන්‍යයේ පළමු රන් පදක්කම ඇඩම් පීට්ගෙන්
මහාබ්රිත්යයට පළමු රන් පදක්කම දිනාදීමට පිහිණුම් ක්‍රීඩක ඇඩම් පීට් සමත් විය. පිරිමි මීටර් 100 ළයආර ඉසව්ව නියෝජනය කළ ඔහු සිය ඉසව්ව තත්පර 57.37කින් අවසන් කළේය. මෙය ඔලිම්පික් ඉතිහාසයේ 05 වැනි වේගවත්ම කාලය වෙයි.
සත්කාරක ජපානයට පරාජය
ටෝකියෝ රග්බි ක්‍රීඩාංගණයේ ඊයේ (26දා) පැවති සත්සාමාජික රග්බි තරගයකින් සත්කාරක ජපානයට එරෙහි ලකුණු 24 - 19ක ජයක් වාර්තා කිරීමට ෆිජී කණ්ඩායම සමත් විය. කෙසේ නමුත් මෙහි පළමු අර්ධ අවසන් වනවිට ජපානය 14 - 12ක් ලෙස පෙරමුණ ගෙන සිටියේය.
ඔලිම්පික් උළෙලට එක් වූ ළාබාලම ක්‍රීඩිකාව
මෙවර ඔලිම්පික් උළෙලට ක්රීඩකරන ළාබාලම තරගකරුවා බවට සිරියානු මේසපන්දු ක්‍රීඩිකා හෙන්ඩ් සාසා පත්ව සිටියි. ඇය සිය පළමු තරගය තරගයට ක්‍රීඩාකරන විට වයස අවුරුදු 12යි දින 204ක් විය. කෙසේ නමුත් ඇය මුහුණදුන් තරගයෙන් ඔස්ට්‍රියානු ක්‍රීඩිකාවක හමුවේ තරග වට 4-0ක පරාජයක් අත්වින්දේය.
ඇමරිකාවේ බිඳවැටුණු බලාපොරොත්තුව
2008, 2012 හා 2016 යන වසර ත්‍රිත්වයේම අඛණ්ඩව ඔලිම්පික් පැසිපන්දු රන් පදක්කම දිනාගත් ඇමරිකාවට, මෙවර සහභාගි වූ පළමු තරගයෙන්ම ප්‍රංශය හමුවේ 83-76ක් ලෙස පරාජය වීමට සිදුවිය.
අවුරුදු දහතුනේ නිෂියාට රන් පදක්කමක්
ජපාන ඔලිම්පික් ඉතිහාසයේ රන් පදක්කමක් දිනූ ළාබාලම ක්‍රීඩිකාව බවට පත්වීමට නිෂියා මොමිජි ඊයේ (26දා) සමත් වූවාය. මෙවර ඔලිම්පික් උළෙලට අලුතින් හඳුන්වාදුන් ක්‍රීඩා ඉසව්වක් වන ස්කේට්බෝර්ඩිං ඉසව්වෙන් ඇය මෙම පදක්කම දිනාගත්තාය. ඒ අනුව එම ඉසව්වේ පළමු රන් පදක්කම දිනූ ක්‍රීඩිකාවගේ ගෞරවයද ඇය හිමිකර ගත්තාය.
මෙහි රිදී පදක්කම දිනාත්තේද වයස 13ක බ්‍රසීල ක්‍රීඩිකාවක වන රේසා ලීල් වන අතර, ලෝකඩ පදක්කම හිමි වූයේ 16 හැවිදිරි ජපානයේම ෆුනා නයමාටය.
සංජීව ධර්මසේන/ ජපානයේ ටෝකියෝ නුවර සිට