දසුන් ශානකගේ නායකත්වයෙන් දඹුල්ල අවුරා කණ්ඩායම පරදා ලකුණු 51ක පහසු ජයක් වාර්තා කිරීමට තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට හැකි විය.
තරගයේ කාසියේ වාසිය දිනූ ජැෆ්නා කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 05කට ලකුණු 240ක් රැස් කළේය. මේ සමගින් එල්.පී.එල්. තරගාවලි ඉතිහාසයේ කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව ඔවුන් සතු විය. මීට පෙර මෙම වාර්තාව කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම සතුවූ අතර, 2020 වර්ෂයේ පැවැති එල්.පී.එල්. පළමු තරගාවලියේදී ජැෆ්නා කණ්ඩායමට එරෙහිව කඩුලු 03කට ලකුණු 219ක් රැස් කිරීමට ඔවුන් සමත් විය.
ඊයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් වන රහ්මතුල්ලා ගුර්බාස් පන්දු 35 කදී ලකුනු 73ක් හා අවිශ්ක ප්‍රනාන්දු පන්දු 30 කදී ලකුණු 54 ක් බැගින් රැස් කරමින් පිත්තෙන් දස්කම් දැක්වීය. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 64 කදී වේගවත් ලකුණු 133 ක් රැස් කලේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල අවුරා ක්‍රීඩකයන් පන්දුවාර 20 තුළදී කඩුලු 08ක් දැවී රැස් කළේ ලකුණු 189ක් පමණි. නායක දසුන් ශානක පන්දු 23 කදී වේගවත් ලකුනු 44 ක් රැස්කලේ හයේ පහර 3 ක් හා හතරේ පහර 4 ක් සමගිනි. පන්දු යැවීමේදී බිනුර ප්‍රනාන්දු ජැෆ්නා වෙනුවෙන් කඩුළු 4 ක් දවාලීය. තරගයේ වීරයා සම්මානය පිත්තෙන් දස්කම් දැක්වූ රහ්මතුල්ලා ගුර්බාස්ට හිමිවිය.