ජාතික කණ්ඩායම් පුහුණුවීම් ආරම්භ කිරීම පිළිබඳව නිලධාරීන් මත දෙකක ?
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුවීම් මෙම සතිය තුළදී ආරම්භ කිරීම සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නොමැති බවත්, එය සාකච්ඡා මට්ටමේ පමණක් පවතින බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසූයේය.
මේ සම්බන්ධයෙන් ‘අද’ පුවත්පත වෙත අදහස් දක්වමින් හෙතෙම වැඩිදුරටත් පැවසූයේ පුහුණුවීම් ආරම්භ කිරීමට තවත් සති කිහිපයක් ගත වනු ඇති බවයි. මේ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන්ද සිල්වා මහතාද තහවුරු කළේය.
කෙසේ වෙතත් මේ සම්බන්ධව අදහස් දැක් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් උපසභාපති රවීන් වික්‍රමරත්න මහතා පැවසූයේ එළඹෙන 15 වැනිදා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුවීම් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි. මෙම පුහුණුවීම් සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමින් කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේදී ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව හෙතෙම ප්‍රකාශ කළේය. මේ සඳහා වරකට එක් ක්‍රීඩකයෙකු හෝ දෙදෙනෙකු ගෙන්වීමට බලාපොරොත්තු වන බවත්, එහිදී ක්‍රීඩකයන්ගේ ප්‍රතිස්ථාපන Rehabilitation කටයුතු සිදුකිරීමට නියමිත බවත් උපසභාපතිවරයා සඳහන් කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කොන්ත්‍රාත්ගත ක්‍රීඩකයන් සඳහා සිදුකෙරෙන මෙම පුහුණුවීම්වලදී සමාජ දුරස්ථභාවය රැකගැනීම උදෙසා මෙම පියවර අනුගමනය කරන බවද හෙතෙම පැවසීය.
“මෙහිදී අපි සංචිතයම (Squad) ගෙන්නනවද කියල නෑ. ක්‍රීඩකයෙකු හෝ දෙන්නෙක් ගෙනැල්ලා, මිනිත්තු 45ක් විතර ඔවුන්ගේ පුහුණුවීම් සිදුකරලා, ඔවුන්ට පුහුණුවීම් ලබාදීලා, ආබාධ (Injuries) මොනවද කියන දේ බලන එකයි මෙතැනදී සිදුකරන්නේ. මේක දිගටම කරන්න අපි බලාපොරොත්තු වෙනවා.” යැයි හෙතෙම මේ පිළිබඳව අදහස් දක්වමින් වැඩිදුරටත් පැවසීය. මෙම සියලු පුහුණුවීම් කටයුතු ඛෙත්තාරාමයේ පිහිටි ප්‍රතිස්ථාපන මධ්‍යස්ථානයේදී (Rehabilitation center) පැවැත්වෙන බව හෙතෙම පැවසීය.
කෝවිඩ් -19 වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරි තරග සංචාර බොහොමයක් දින නියමයක් නොමැතිව කල් දමා තිබේ. එහිදී ලෝක ටෙස්ට් ශූරතාවට අදාළව පසුගිය මාර්තු මාසයේදී ආරම්භ වීමට නියමිතව තිබූ එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය මෙන්ම, ජුනි මසදී පැවැත්වීමට තිබූ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයද කල් දැමිනි. කෙසේ වෙතත් කෝවිඩ් - 19 වෛරසය මගින් ලෝකයටම ඇති කළ බලපෑම තවමත් අඩුවීමක් නොමැති බැවින්, මෙතෙක් ජාත්‍යන්තර ක්‍රිකට් කාල සටහනේ තරග නැවත ආරම්භ කෙරෙන දිනයක් නොමැත. ඒ හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි තරගාවලිද ආරම්භ කෙරෙන දිනයක් නොමැත.
මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් ගෘහස්තව සිටින කාලය පිළිබඳව පසුගිය මසදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ජාතික කණ්ඩයාමේ පුහුණුකරු මිකී ආතර් මහතා පැවසූයේ එම කාලය පසුගිය පුහුණුවීම් පිළිබඳව මෙනෙහි කිරීම උදෙසා භාවිත කරන බවත්, ඉදිරි සැලසුම් පිළිබඳ නැවත මෙනෙහි කිරීමට භාවිත කරන බවත්ය.
එමෙන්ම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමෙ ක්‍රීඩකයන් සියල්ලටම ඔවුන්ගේ යෝග්‍යතා මට්ටම් පවත්වා ගැනීම උදෙසා තනි යෝග්‍යතා සැලැස්මක් ලබා දී ඇති බවත්, එය ක්‍රීඩකයාගේ නිවසේ ඔහු සතුව ඇති පහසුකම්වලට අනුව ලබා දී ඇති බවත් හෙතෙම මෙහිදී පැවසූයේය.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් සමගින් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පැවසූයේ ක්‍රීඩකයෙකු ක්‍රීඩාවේ හොඳ කාලවලට හා නරක කාලවලට මුහුණදීමට උගත යුතු බවයි.
එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට්හි තරග රහිත මෙම කාල සමය සම්බන්ධයෙන් අදහස් දක්වමින් දිමුත් කරුණාරත්න පැවසූයේ මෙම කාලය, ක්‍රීඩකයන්ගේ සැලසුම්, භූමිකාවන් හා අරමුණු සම්බන්ධව නැවත සොයා බැලීමට අවස්ථාවක් ලබාදෙන බවයි. එමෙන්ම ප්‍රතිවාදී කණ්ඩායම් සම්බන්ධයෙන් මෙම කාලය තුළදී වඩාත් විශ්ලේෂණය කළ බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.