සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග 05කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය අද (10දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. එක්දින තරගාවලිය එළඹෙන 27 වැනිදා අවසන් වීමට නියමිතය.
කෙසේ වෙතත් මේ දිනවල දිවයිනට බලපා තිබෙන අයහපත් කාලගුණය නිසා අද තරගයට මෙන්ම තරගාවලිය පුරාවටම වර්ෂාවෙන් බාධා ඇතිවන බවක් පෙනෙන්නට තිබේ. එහෙත් මෙරට ක්‍රිකට් ලෝලීන්ට සාර්ථක තරගාවලියක් දැකගන්නට අවස්ථාව උදාවේවායි අපි ප්‍රාර්ථනා කර සිටිමු.
ආසියානු කුසලාන එක්දින තරගාවලියේදී සුපිරි හතර දෙනාගේ වටයට සුදුසුකම් නොලබා තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත්වීම නිසා මෙන්ම ශාරීරික යෝග්‍යතාව නිසි තත්ත්වයේ නොමැති බව සඳහන් කරමින් 2019 එක්දින ලෝක කුසලාන තරගාවලිය තෙක් නායකත්වයට පත්කළ ඇන්ජලෝ මැතිව්ස්, එංගලන්තය සමග පැවැත්වෙන එක්දින තරගාවලියෙන් ඉවත් කිරීමට පසුගියදා තේරීම් කමිටුව කටයුතු කළේය. ඒ අනුව අදින් ඇරඹෙන එක්දින තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම තරග වදින්නේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වය යටතේය.
තරගාවලියෙන් තරගාවලියට නායකයන් පත් නොකර ලෝක කුසලාන තරගාවලිය තෙක් චන්දිමාල් හෝ මැතිව්ස් නායකත්වයේ තබාගැනීමට තේරීම් කමිටුව ඍජු තීරණයක් ගැනීමට තවමත් ප්‍රමාද නොමැත. කණ්ඩායමක් ලෙස තමන් පැහැදිලි වැඩපිළිවෙළක් ඇතිව ගමනක් යාමට ආපේක්ෂා කරන්නේනම් බාහිර පාර්ශ්වයන්ගෙන් එල්ලවන විවේචනයන් පසෙක ලා තමන්ගේ ගමන යෑමට ක්‍රිකට්වලට සම්බන්ධ සියලු දෙනාම උත්සාහ කළ යුතුය. එය හුදු තම තමන්ගේ යෑපීම පමණක් ප්රමුඛ පරමාර්ථය කර නොගත යුතුය.
ඇන්ජලෝ මැතිව්ස් නිසි ශාරීරික යෝග්‍යතාවයේ නොමැතිනම් ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා කරන්නේ කෙසේද යන්න 'අද. පුවත්පතේ අප ප්‍රශ්න කර සිටියේ මීට වසරක පමණ පෙර සිටය. ඒ මැතිව්ස් නිරන්තරයෙන් ආබාධයන්ට ලක්වන බැවින් ඔහු පන්දු යැවීම සම්පූර්ණයෙන් නතර කළ බව තේරීම් කමිටුවේ සභාපති ග්රැහැම් ලැබ්රෝයි මහතා මාධ්‍ය ඉදිරියේදී සඳහන් කිරීමටත් පෙර සිටය.
අප එහිදී සඳහන් කර සිටියේ මැතිව්ස් සම්පූර්ණයෙන් සුවවන තෙක් කණ්ඩායමෙන් ඉවත් කළ යුතු බවයි. එහෙත් සිදුවූයේ මැතිව්ස්ගේ පන්දු යැවීම පමණක් නතරකොට ඔහු කණ්ඩායමේ රඳවා ගැනීමය. එය සිදුවූයේ තේරීම් කමිටුවේ වුවමනාවටද, මැතිව්ස්ගේ තීරණයන් මතද යන්න පැහැදිලි නොවුණි. දැන් සියල්ල සිදුව අවසන්ය. එහෙයින් ඉදිරියේදීවත් මෙවැනි අතපසුවීම් සිදුනොවන්නට නිලධාරීන්ට ඍජු තීරණ ගැනීමට හැකිවිය යුතුය.
ආසියානු කුසලාන එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානය අහිමිවූ නිරෝෂන් දික්වැල්ලට මෙන්ම නැවත වරක් ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානයක් හිමි වනතුරු බලාසිටි සධීර සමරවික්රමටද ඒ සඳහා අවස්ථාවක් හිමිව ඇත. ජයග්රහණයන් පිපාසයෙන් පෙළෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්රහණයන් වෙනුවෙන් දායකත්වයක් ලබාදීමට අවස්ථාවක් උදාවුවහොත් එය උපරිමයෙන් ලබාදීමට දික්වැල්ල මෙන්ම සධීර ද උත්සාහ කළ යුතුය.
එමෙන්ම ආසියානු කුසලාන එක්දින තරගාවලියේදී ආරම්භක ස්ථානය අහිමිවූ කුසල් ජනිත් පෙරේරා ආරම්භක පිතිකරුවෙකු ලෙස යොදා ගනිමින් ඔහුට නිදහසේ පන්දුවට පහරදීමට අවස්ථාවක් සලසාදිය යුතු බව අපි තරයේ විශ්වාස කරන්නෙමු. මන්ද කුසල් ජනිත් නිදහසේ පන්දුවට පහරදෙන විට වැඩි සාර්ථකත්වයක් ලබාගන්නා බැවිනි. එහෙත් උපුල් තරංග සමගින් ආරම්භක පිතිකරුවකු ලෙස කුසල් ක්‍රීඩා කරන්නේද, නැතිනම් දික්වැල්ල ක්‍රීඩා කරන්නේද යන්න තවමත් පැහැදිලි නැති වුවද අප විශ්වාස කරන්නේ කුසල් ආරම්භක පිතිකරුවෙකු ලෙස යොදා ගනිමින් දික්වැල්ල අංක තුන ක්‍රීඩකයා ලෙස යොදාගැනීම ප්‍රතිඵලදායක බවය.
තවද චන්දිමාල් අංක හතර පිතිකරුවා ලෙසත්, ධනංජය ද සිල්වා අංක පහ පිතිකරුවා ලෙසත් ක්‍රීඩා කිරීමද ප්‍රතිඵලදායකය. ආසියානු කුසලාන තරගාවලියේදී ධනංජය පසුපෙළ පිතිකරුවෙකු ලෙසින් සාර්ථක වූ බැවින් ඔහුට තව තවත් පසුපෙළ පිතිකරුවෙකු ලෙසින් සාර්ථකවීමට අවස්ථාව ලබාදිය යුතුව තිබේ. ඉන්පසු තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දක්වන තිසර සහ දසුන් පන්දුවට පහරදීමට යොදාගත හැක. එංගලන්ත තරගාවලිය සඳහා නම්කළ එක්දින සංචිතයේ සිටින ක්‍රීඩකයන් දෙස අවධානය යොමුකිරීමේදී ඉහතින් සඳහන් කළ පිතිකරණ සංයුතිය මේ මොහොතේ අපට සිටින හොඳම සංයුතිය බවද අපි විශ්වාස කරන්නෙමු.
කෙසේ වෙතත් පිතිකරණ සංයුතිය කුමක් වුවත්, පිතිකරුවන් අතර වැඩි ලකුණු සම්බන්ධතාවන් ගොඩනැගීම කණ්ඩායමේ ජයග්‍රහණයට බලපාන බැවින් අද තරගයට පිතිකරුවන් ලෙස ක්‍රීඩා කරන ක්‍රීඩකයන් දීර්ඝ ලකුණු සම්බන්ධතා ගොඩ නගාගැනීමට උත්සාහ කළ යුතුය. තමන් සමග පන්දුවට පහරදෙන සගයාට නිරන්තරයෙන් උදව් කරමින් කණ්ඩායමේ සාර්ථකත්වය වෙනුවෙන් දීර්ඝ ලකුණු සම්බන්ධතා ගොඩගනා ගැනීම අතිශය වැදගත්ය.
තවද එම ලකුණු සම්බන්ධතා වර්තමාන තරගකාරී ක්‍රීඩා රටාවට ගැළපෙන වේගයකින් වාර්තා කිරීමද ඉතා වැදගත් බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් මතක තබාගත යුතුය. මැතිව්ස්ගෙන් දක්නට නොලැබුණු එම ගුණාංගය එංගලන්ත තරගාවලියට ඇතුළත්ව සිටින ක්‍රීඩකයන්ගෙන් දැකබලා ගන්නට හැකිවුවහොත් එය ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථකත්වයට ප්‍රබල පිටිවහලක් වනු ඇත.
වර්තමාන එක්දින ශ්‍රේණිගත කිරීම් හි අංක 01 ස්ථානයේ පසුවන එංගලන්ත කණ්ඩායම, ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් පැවැත්වෙන එක්දින තරගාවලියේදීද සිය කීර්තිනාමයට හානියක් වීමට කිසිදු අවස්ථාවක් ලබා නොදෙන බව සක් සුදක්සේ පැහැදිලිය. එංගලන්ත එක්දින කණ්ඩායමේ නායක ඔයන් මෝගන් මෙන්ම ජෝ රූට්, ජේසන් රෝයි, බෙන් ස්ටොක්ස්, ඇලෙක්ස් හේල්ස් සහ ජොනී බෙයාර්ස්ටෝව් වැනි පිතිකරුවන්ගෙන් සමන්විත එංගලන්ත කණ්ඩායමට ඕනෑම කණ්ඩායමක් ඉතා පහසුවෙන් පරාජයට පත්කළ හැකි බවද අප අමතක නොකළ යුතුය.
තවද ඉහතින් සඳහන් කළ සියලුම ක්‍රීඩකයන් මීට පෙරද ශ්‍රී ලංකාවේ සංචාරය කර ඇති බැවින් ඔවුන්ට අපේ තණතීරු ගැන මනා වැටහීමක් ඇතිවාට සැක නැත. තවද තුන් ඉරියව් ක්‍රීඩකයන් වන මොයින් අලී සහ ක්‍රිස් වෝකස් ද තරගයක් වෙනස් කළ හැකි ක්‍රීඩකයන් වේ. මොයින් අලි මෙන්ම ආදිල් රාශීඩ්ද දඟ පන්දුවෙන් ශ්‍රී ලංකා පිතිකරුවන්ට පීඩනයක් එල්ල කරනු නොඅනුමානය. ශ්‍රී ලංකාවේ තණතිලි දඟ පන්දු යවන්නන්ට යම් සහායක් දක්වන බැවින් එය මොයින් අලීට මෙන්ම ආදිල් රශීඩ්ටද වාසියක් බව අප අමතක නොකළ යුතුය.
ඡායාරූපය ශාන්තර රත්නායක
ශ්‍රී ලංකාව - දිනෙෂ් චන්දිමාල් (නායක), උපුල් තරංග, සදීර සමරවික්‍රම, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, අකිල ධනංජය, දුෂ්මන්ත චමීර, ලසිත් මාලිංග, අමිල අපොන්සු, නුවන් ප්‍රදීප්, ලක්ෂාන් සඳකැන්, කසුන් රාජිත, කුසල් පෙරේරා
එංගලන්තය - ඔයින් මෝගන් (නායක), මොයින් අලි, ජොනී බෙයාස්ටෝව්, ජෝස් බට්ලර්, සෑම් කරන්, ටොම් කරන්, ලියාම් ඩෙව්සන්, ඇලෙක්ස් හේල්ස්, ලියාම් ප්ලන්කට්, ආදිල් රාශීඩ්, ජෝ රූට්, ජේසන් රෝයි, බෙන් ස්ටෝක්ස්, ඔලි ස්ටෝන්, ක්‍රික් වෝක්ස්, මාර්ක් වුඩ්