මෙවර තරගාවලියේ ප්‍රභලම කණ්ඩායමක් ලෙසින් කරලියට පැමිණි ස්පාඤ්ඤය ගෝල 2-1 ක් ලෙස පරාජයට පත්කර තරගාවලියේ තමන් ලැබූ දෙවැනි විශිෂ්ඨ ජයග්‍රහණය වාර්තා කිරීමට ජපානය සමත්විය. මෙම තරගය කලීෆා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
තරගයේ පළමු අර්ධයේ 11 වැනි මිනිත්තුවේදී ප්‍රහාරක ක්‍රීඩක ඇල්වාරෝ මොරාටා ස්පාඤ්ඤයට ගෝලයක් වාර්තා කර දුන්නේය. ඒ් අනුව පළමු අර්ධය නිමා වූයේ ගෝල 1-0 ක් ලෙසින් ස්පාඤ්ඤය ඉදිරියෙන් පසුවෙමිනි.
නමුත් දෙවැනි අර්ධයේ 48 වැනි මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ ජපාන ඉදිරිපෙළ ක්‍රීඩක රිට්සු ඩොආන් ගෝලයක් වාර්තා කරමින් ජපානයට බලාපොරොත්තුවක් එක් කලේය.
ඉන් මිනිත්තු 3 ක් ගතවද්දී මැදපෙළ ක්‍රීඩක අයෝ ටනාකා දෙවැනි ගෝලයද කණ්ඩායමට වාර්තා කරදෙමින් ජයග්‍රහණයට ජපානය රැගෙන ගියේය.
මෙවර තරගාවලියේ ඊ කාණ්ඩයෙන් ක්‍රීඩා කළ ජපානය එහි තවත් ප්‍රභල කණ්ඩායම් වූ ජර්මනිය ගෝල 2-1 ක් ලෙස පරාජයට පත් කලේ තමන් මුහුණදුන් පළමු තරගයේදීය.
ඔවුන් කොස්ටාරිකා කණ්ඩාම හමුවේ ගෝල 1-0 ක් ලෙසින් පරාජයට පත් වුවද අවසන් ප්‍රසාද ලකුනු සටහන අනුව සිය කාණ්ඩයේ ප්‍රසාද ලකුනු සටහනේ පෙරමුණ දිනා ගනිමින් දෙවැනි වටයට සුදුසුකම් ලබාගැණීමට සමත්විය.
1998 වර්ෂයේ පටන් අඛණ්ඩව ලෝකකුසලාන පාපන්දු තරගාවලියට ආසියානු කලාපය නියෝජනය කරමින් ලෝක කුසලානටය සුදුසුකම් ලබාගත් ජපානය මෙවර සුදුසුකම් ලැබුවේ සිය අඛණ්ඩ 7 වැනි ලෝක කුසලාන තරගාවලියටයි. එයින් අවස්ථා 4 කදීම ඔවුන් දෙවැනි වටයට සුදුසුකම් ලබාගැනීමට සමත්වී ඇත.
ඒ් අනුව ඔවුන් දෙවැනි වටයේදී (අවසන් 16 දෙනාගේ වටය) ක්‍රොයේෂියාව සමගින් එළඹෙන සඳුදා (05දා) තරග වැදීමට නියමිතය.