අයි.සී.සී. කාන්තා එක්දින කාන්තා පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි ලොව අංක එකේ ස්ථානයට පත් ශ්‍රී ලංකාවේ පළමු හා එකම ක්‍රීඩිකාව ලෙස චමරි අතපත්තු වාර්තා අතරට එක්වූවාය.
නවසීලන්ත කණ්ඩායම සමගින් ශ්‍රී ලංකාවේ පැවැති එක්දින තරගාවලියේදී ඇය පිත්තෙන් දැක්වූ දක්ෂතා අනුව චමරිට මෙම අවස්ථාව ලැබී තිබේ.
ඉදිරියට ශ්‍රී ලංකාවෙන් බිහිවන පිතිකාරිනියන් එක්දින ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ ස්ථානයට පත්වුවද එම දක්ෂතාව දැක්වූ පළමු ක්‍රීඩිකාව ලෙස චමරිගේ නම පවතිනු ඇත.
නවසීලන්තයට එරෙහිව ඊයේ (3) අවසන් වූ එක්දින ක්‍රිකට් තරගාවලියේදී ශතක දෙකක් රැස්කිරීමට චමරි සමත්වූවාය. ඇය පළමු තරගයේදී නොදැවී ලකුණු 108 ක් සහ දෙවැනි තරගයේදී නොදැවී ලකුණු 140 ක් රැස් කළාය.
ඇය ප්‍රසාද ලකුණු 758 ක් හිමිකරගනිමින් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයට පත්ව සිටින්නීය. ඕස්ටේ්රලියානු පිතිකාරී බේත් මූනි ප්‍රසාද ලකුණු 754 ක් ලබා දෙවැනි ස්ථානයේ ද, දකුණු අප්‍රිකානු පිතිකාරී ලයුරි වොල්වර්ඩ්ට් ප්‍රසාද ලකුණු 732 ක් සමගින් තෙවැනි ස්ථානයේ ද, පසුවෙති.
33 වැනි වියේ පසුවන චමරි මේ වන විට එක්දින ජාත්‍යන්තර තරග 95 කදී ශතක 8 ක් සහ අර්ධ ශතක 15 ක් සමගින් ලකුණු 3,199 ක් රැස්කරගෙන තිබේ.