ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය ඇතුළුව ගාල්ල, මාතර සහ හම්බන්තොට ක්‍රිකට් පරිපාලනය බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමයෙන් ඉවත් කර එය දකුණු පළාත් ක්‍රිකට් සංගමයට පවරා ඇතැයි 'අද'ට වාර්තා වේ.
කෙසේ වෙතත් නිසි පරිදි විගණනයක් නොකිරීම හේතුවෙන් දකුණු පළාත් ක්‍රිකට් සංගමයට එරෙහිව නඩුවක් මේ වනවිට අධිකරණයේ විභාග වන හෙයින් ගාල්ල, මාතර සහ හම්බන්තොට ක්‍රිකට් සංගම්වල නිලධාරීන්ගේ එකතුවකින් යුත් කමිටුවක් පරිපාලනය භාරගැනීමට සූදානමින් සිටින බව හෙළිවේ.
මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පසුගිය සිකුරාදා (26දා) ක්‍රිකට් ආයතන ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාට නියෝග කර තිබුණේ, වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමයෙන් මෙම පරිපාලනය ඉවත් කර දකුණු පළාත් ක්‍රිකට් සංගමය නියෝජනය කරන ගාල්ල, මාතර සහ හම්බන්තොට ක්‍රිකට් සංගම්වලට එය පවරන ලෙසයි.
අමාත්‍යවරයා පසුගිය සිකුරාදා මෙම තීරණය ගෙන ඇත්තේ අනෙකුත් සියලුම පළාත්වල ක්‍රිකට් පරිපාලනය පළාත් සංගම්වලින් සිදු කෙරෙන බවත් බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමය දකුණු පළාත් ක්‍රිකට් සංවර්ධනයට ලැබෙන මුදල් එහි සංවර්ධනයට යොදවන්නේ නොමැති බවටත් ඉදිරිපත්වූ පැමිණිලි විභාග කිරීමෙන් අනතුරුවයි.
කෙසේ වෙතත් එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන මස 06 වැනිදා ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත අතර, එම තරගයේ සිට පරිපාලන කටයුතු මෙහෙයවීම දකුණු පළාත් ක්‍රිකට් සංගමයේ සාමාජික සංගම්වලින් සැදුම්ලත් කමිටුවකින් අධීක්ෂණය කරන බව දකුණු පළාත් ක්‍රිකට් සංගමයේ නිලධාරියෙක් 'අද' පුවත්පතට පැවසීය.
එමෙන්ම දකුණු පළාත් ක්‍රිකට් සංගමයේ විගණනය කඩිනම් කර ඉතා ඉක්මනින් නිලවරණයක් පවත්වා දකුණු පළාතේ ක්‍රිකට් දියුණුවට අවශ්‍ය පියවර ගන්නා බව හෙතෙම පැවසීය.
"දකුණු පළාතේ ක්‍රිකට් සංවර්ධනයට සහ යටිතල පහසුකම් දියුණුවට ක්‍රිකට් ආයතනයෙන් විශාල මුදලක් බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමයට ලබාදීලා තියෙනවා. එහෙත් ඒ මුදල්වලට වෙච්ච දෙයක් නැහැ. දකුණු පළාත තුළ ක්‍රිකට් බිඳ වැටිලා. පළාතේ දියුණුවට ලැබුණු මුදල් බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමය අපිට දුන්නේ නැහැ.
ඒ මුදල්වලට වුණු දේ සොයා බැලිය යුතුයි. දකුණු පළාතේ ක්‍රිකට් සංවර්ධනයට ලැබුණු මුදල් සමහරු බස්නාහිර පළාතේ ගිණුම්වලට දාගෙන තිබෙනවා. ඉදිරියේදී එම හොරුන්ව අපි හෙළි කරනවා සාක්ෂි සහිතව" යැයි එම නිලධාරියා වැඩිදුරටත් පවසා සිටියේය.