ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගනුදෙනු සම්බන්ධයෙන් පසුගියදා (03දා) පැවති කෝප් කමිටු (පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව) සැසිය සඳහා සහභාගි නොවුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ නිළධාරීන් සිවුදෙනෙකු ඊයේ (18දා) දිනයේදී සිය නොපැමිණීම සම්බන්ධයෙන් කමිටුවෙන් සමාව අයැද සිටියහ.
මෙලෙස කෝප් කමිටුව හමුවේ සමාව අයැද සිටියේ මීට පෙර කෝප් කමිටු සැසියට සහභාගී නොවුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා, උපසභාපති රවීන් වික්‍රමරත්න, පරිපාලන අංශ ප්‍රධානී අරුණ ද සිල්වා සහ උපභාණ්ඩාගාරික ලලිත් රඹුක්වැල්ල යන මහත්වරුය.
එමෙන්ම මින් ඉදිරියට පැවැත්වෙන කෝප් කමිටු සැසිවලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සහභාගී නොවන්නේ නම් එය පාර්ලිමේන්තුවට කරන අගෞරවයක් ලෙස සලකන බව ඊයේ පාර්ලිමේන්තුවේදී කෝප් කමිටු සැසියට එක්වෙමින් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.
මෙම හමුවේදී මින් පෙර කෝප් කමිටුව කැඳවූ අවස්ථාවේ පිළිතුරු ලබාදීමට අපොහොසත්වූ කරුණුවලට ක්‍රිකට් සභාපතිවරයා පැහැදිලි කිරීමකට ගිය අවස්ථාවේ එය වළක්වාලමින් කෝප් කමිටු සභාපතිවරයා පැවසුවේ මෙවර ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවුයේ පසුගියවර ප්‍රශ්න සඳහා කරුණු විමසීමට නොවන බවත් නොපැමිණීම සම්බන්ධයෙන් නිදහසට කරුණු විමසීමට බවත්ය.
අනතුරුව ක්‍රිකට් සභාපතිවරයා කෝප් කමිටු සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියේ තමා ඇතුළු කමිටුවට ඕනෑම දවසක් පිළිතුරු ලබාදීම සඳහා ලබාදෙන ලෙසයි.
ඊට පිළිතුරු දක්වමින් කෝප් කමිටු සභාපතිවරයා පවසා සිටියේ ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් කෝප් කමිටුව හමුවේ පෙනීසිටීම සම්බන්ධ තොරතුරු පරස්පර බවයි.
අනතුරුව කෝප් කමිටු සාමාජික සුජීව සේනසිංහ මහතා පවසා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් කෝප් කමිටු සැසියට සහභාගී වනවිට ඒ සඳහා කිසිදු පෙර සුදානමකින් පැමිණීමට අපොහොසත්ව ඇති බවයි.
මින් ඉදිරියට කෝප් කමිටුව හමුවට පැමිණෙන විට මීට වඩා වගකීමකින් යුක්තව ඊට සහභාගී වන්න යැයි ක්‍රිකට් ආයතන නිලධාරීන්ට අවවාද කිරීමක්ද මෙහිදී සිදුවිය.
මෙහිදී මීට පෙර කෝප් කමිටුව හමුවට කැඳවන විට සහකාර භාණ්ඩාගාරික ලලිත් රඹුක්වැල්ල මහතා අසනීප වීම සම්බන්ධයෙන් වැඩිදුරටත් කෝප් කමිටු සාමාජිකයින් කරුණු විමසූ අතර, ඔහු ඒ සඳහා වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කළේය. එහෙත් කෝප් කමිටු සාමාජිකයන්ගේ ප්‍රශ්නවලට එතරම් බැරෑරුම් ලෙස නොගෙන සිනහමුසු මුහුණින් යුතුව පිළිතුරු දීම සම්බන්ධයෙන් කෝප් කමිටු සාමාජිකයන්ගේ අවවාදයට හෙතෙම ලක්විය.
මීට අමතරව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සහ ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ රැස්වීම් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් සහභාගිවන කාල වකවානු ඇතුළත් කාලසටහන මීළඟ කෝප් කමිටු රැස්වීමේදී ලබාදෙන මෙන් එහි සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා මහතාට නියෝග කළේය.
මේ අතර හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාද කෝප් කමිටු සැසිය හමුවේ පිළිතුරු සැපයීමට කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතාගෙන් මීට පෙර ලිඛිත ඉල්ලීමක් කර තිබුණද සුමතිපාල මහතා ඊයේ දිනයේදී ඊට සහභාගී නොවුණි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (19දා) දිනයේදී යළිත් කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිත අතර, ඊට ක්‍රිකට් ආයතනයේ අනෙකුත් නිලධාරීන්, ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු තාක්ෂණ කළමනාකරු නදීශාන් සූරියආරච්චි ඇතුළු එම අංශය සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (සර්ට් ආයතනය) සහභාගී වීමට නියමිතය.