ඩේවිඩ් මිලර්ගේ ප්‍රහාරාත්මක ඉනිමේ ආශිර්වාදයෙන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත් විය.
තරගාවලියේ අවසන් පූර්ව තරගයක් ලෙසින් (Qualifier 1) පැවති මෙම තරගයෙන් ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාර ක්‍රිකට් අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන රාජස්ථාන් රෝයල්ස් කඩුලු 07කින් පරාජයට පත් විය.
කොල්කටාහි ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේ පෙරේදා (24දා) රාත්‍රියේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ගුජරාට් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට රාජස්ථාන් කණ්ඩායමට ආරාධනා කළේය.
ඒ අනුව ගුජරාට් පන්දු යවන්නන්ට එරෙහිව සාර්ථකව පිත්ත හැසිර වූ රාජස්ථාන් පිතිකරුවෝ, පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 06කට ලකුණු 188ක ලකුණු පුවරුවක් එක් කරමිනි.
මෙවර තරගාවලියේ වැඩිම ලකුණු රැස් කළ පිතිකරුවා වන ජොස් බට්ලර් සිය වගකීම මෙවරත් ඉටුකරමින් පන්දු 56කින් ලකුණු 89ක් රැස් කිරීමට සමත් විය. එම ඉනිමට හයේ පහර 02ක් හා හතරේ පහර 12ක් ඇතුළත් විය. බට්ලර් මෙම අදියරේ පමණක් ශතක 03ක් හා අර්ධ ශතක 04ක් රැස්කර ඇත.
මෙහිදී අමතරව නායක සංජු සැම්සන් තම වගකීම කණ්ඩායම වෙනුවෙන් එක් කළේ, පන්දු 26කින් ලකුණු 47ක් රැස් කරමිනි. හයේ පහර 03ක් හා හතරේ පහර 05කින් එම ඉනිම ගොඩනැංවිණ. ගුජරාට් වෙනුවෙන් මොහොමඩ් ෂාමි, යෂ් දයාල්, රවිශ්‍රීනිවාසන් සායි හා හර්ඩික් පාන්ඩ්යා කඩුල්ල බැගින් බිඳහෙළමින් දක්ෂතා දැක්වූහ.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජස්ථාන් කණ්ඩායම පන්දුවාර 19.3ක් අවසානයේ කඩුලු 03ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියේය. මෙහිදී ජයග්‍රහණය වෙනුවෙන් වැඩි දායකත්වයක් ලබාදුන් නායක හර්ඩික් පාන්ඩ්යා හා ඩේවිඩ් මිලර් සිව්වැනි කඩුල්ලට ලකුණු 106(61)ක නොබිඳුණු සබඳතාවක් ගොඩනැගූහ.
ඉන් පාන්ඩ්යා පන්දු 27කින් ලකුණු 40ක් රැස් කළ අතර, මිලර් පන්දු 38කට මුහුණදෙමින් ලකුණු 68ක් රැස්කළහ.
තරගය ජය ගැනීම සඳහා අවසන් පන්දු වාරයේදී ගුජරාට් කණ්ඩායමට ලකුණු 16ක් රැස් කරගත යුතු වූ අතර, එම අභියෝගය පළමු පන්දු තුන තුළදීම සම්පූර්ණ කර ගැනීමට මිලර්ට හැකි විය. ඔහු දැවැන්ත හයේ පහර 03ක් එල්ල කරමින් තම කණ්ඩායම අවසන් සටන කරා රැගෙන ගියේය.
අයි.පී.එල්. තරගාවලියට ක්‍රීඩාකරන කණ්ඩායම් සංඛ්‍යාව 10ක් දක්වා වැඩි කිරීමත් සමග ඊට එක් වූ කණ්ඩායමක් වන ගුජරාට් ටයිටන්ස්, සිය කුළුඳුල් ඇරඹුමේදීම අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීම සුවිශේෂී වෙයි. කෙසේ නමුත් පරාජිත රාජස්ථාන් කණ්ඩායම තරගාවලියෙන් ඉවත් නොවන අතර, ඔවුන්ට තවත් අවස්ථාවක් ඉතිරිව ඇත.
අවසන් වටයේ තවත් තරගයක් (Eliminator) දුෂ්මන්ත චමීර ක්‍රීඩා කරන ලක්නව් සුපර් ජයන්ට්ස් හා වනිදු හසරංග ක්‍රීඩා කරන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් අතර ඊයේ (25දා) රාත්රියේදී පැවැත්විණි.
ඉන් ජයගන්නා කණ්ඩායම අවසන් පූර්ව තරගයක් ලෙස පැවැත්වෙන දෙවැනි තරගයට (Qualifier 2) ක්‍රීඩා කළ යුතු අතර, එහිදී ඔවුන් රාජස්ථාන් සමගින් තරග වැඳිය යුතු වෙයි. ඉන් ජයගන්නා කණ්ඩායම අහ්මදාබාද්හිදී එළඹෙන 29වැනිදා පැවැත්වෙන අවසන් අවසන් මහා තරගයේදී ගුජරාට් ටයිටන්ස් සමගින් තරග වදිනු ලබයි.