ලෝක ශූර ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ඉතිහාසයේ පළමු වරට එක්දින තරගාවලි ජයක් ලැබීමට ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම සමත් විය. ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ එක්දින තරග පෙරේදා (17දා) අවසන්වූ අතර, එහිදී ශ්‍රී ලංකාවට තරග 2-1ක ජයක් හිමිවිය. කෙසේ නමුත් මේ කියන්නේ ඔවුන්ගේ ජයග්‍රහණයේ පසුපස තිබූ අනුවේදනීය කථාවයි.
කොළඹ නගරය ආශ්‍රිතව තිබෙන ක්‍රීඩාංගණ සියල්ලක්ම පාහේ විවිධ පාර්ශ්ව විසින් වෙන්කරගෙන තිබීම හේතුවෙන් ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම පුහුණුවීම් කළේ රාගම බැසිලිකා ක්‍රීඩාංගණයේය. කෙසේ නමුත් අගනුවරින් තරමක් බැහැරව තිබෙන එම ක්‍රීඩාංගණයේ පුහුණුවීම් සඳහා යාමට හා නැවත පැමිණීමට මෙම ක්‍රීඩකයන්ට වාහනයක් අත්‍යවශ්‍ය බව බලධාරීන් කිසිවෙකුට හෝ අවබොධයක් නොතිබීම කනගාටුවට කරුණකි. නවාතැන් ගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශයේ නේවාසිකාගාරය හා ආහාර ලබාදුන්නද, මෙම ක්‍රීඩකයන් පුහුණුවීම් සඳහා යාම හා ඒම තමන්ම කරගත යුතු විය. ඒ අනුව ඔවුන් දුම්රියෙන් යාමට තෝරාගත්තේ එලෙසිනි.
එලෙස ඔවුන් පුහුණුවීම් සඳහා දුම්රියෙන් යන අතරතුරේදී අහම්බෙන් මෙන් %අද^ කැමරාවට හසුවූයේ ඒ ආකාරයටය. කෙසේ නමුත් එදින වනවිට ඔවුන් දින කිහිපයක සිට පුහුණුවීම් සඳහා රාගමට දුම්රියෙන් ගොස් තිබුණි. මෙදින සිකුරාදා දිනයක් වූයෙන් මගීන්ගෙන් අඩුවක් නොතිබුණි. එනිසාම ගමන් ගැනීම ඔවුන්ට දුෂ්කරවූ බව සියැසින්ම දැකගත් අපට අවබෝධ විය.
සමහරු හිටගෙන ගමන්ගත් අතර, සමහරු බිම වාඩිවී සිටියහ. ඔවුන්ගෙන් ඇස් නොපෙනෙන අය සිටියේ තවකෙක්ගේ අතින් අල්ලාගෙනය. තවත් ඇස් නොපෙනෙන අයට බහිනකම් ඉවසුමක් නැහැ. ඔවුන් විටින් විට සිටින ස්ථානය අනෙකාගෙන් විමසමින් සිටියේය. සියල්ල එසේ සිදුවුවත් ලෝක ශූර ඉන්දීය කණ්ඩායම පරාජය කර ඔවුන් මේ වනවිට සියලු ගෞරවය අත්පත් කරගෙන සිටියි.
දෘශ්‍යාබාධිත ක්‍රිකට් පිටියේ අද සිටින ප්රබලතම කණ්ඩායම ඉන්දියාවයි. දෘශ්‍යාබාධිත තරග ආකෘතිය අනුව ඉන්දීය කණ්ඩායම 2014 හා 2018 යන වසරවල එක්දින හා 2012 හා 2017 වසරවල විස්සයි20 ලෝක ශූරයන් අභිසෙස් ලබා සිටියි.
එවන් ප්‍රබල කණ්ඩායමක් ලෙස ලොව තුළ අභිමානයක් ගොඩනගාගෙන සිටින ඉන්දීය දෘශ්‍යාබාධිත කණ්ඩායම හා ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම අතර ක්‍රිකට් තරග ආරම්භ වූයේ 1998 වසරේදී පැවැති දෘශ්‍යාබාධිත එක්දින ලෝක කුසලාන තරගාවලියේ සිටය. එතැන් සිට වසර ගණනාවක් ලෝක කුසලාන තරගාවලිහිදී දෙරට තරග වැදුණද, ඒ සෑම අවස්ථාවකදීම ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාව පරාජය විය. ඒ අනුව ශ්‍රී ලංකාව මෙවර පසුකළේ ඓතිහාසික කඩඉමකි.
ලොව ප්‍රධාන ක්‍රිකට් ක්‍රීඩාව සිදුකරන සෑම රටකම පාහේ අද වනවිට දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කර තිබේ. එමෙන්ම ඉන්දියාව, එංගලන්තය, ඔස්ට්‍රේලියාව වැනි රටවල් ඔවුන්ගේ ප්‍රධාන ක්‍රිකට් ආයතනයට, එරට දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමයද සම්බන්ධ කරගෙන සිටියි.
කෙසේ නමුත් මෙරට දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමයට තවමත් එවන් වාසනාවක් උදාවී නොමැත. අඩුම තරමේ ස්ථිර අනුග්‍රාහකයෙකු හෝ නොමැත. තරගාවලියක් පැවැත්වෙන කාලසීමාවක ළං කරගත්තද, තරගාවලිය පසු ඔවුන්ට අතහැර දමයි. එවන් පසුබිමක අඩුම තරමේ තරගාවලියක් පැවැත්වෙන අතරතුර හෝ ඔවුන්ගේ සියලු අඩුපාඩු මින් සොයා බලන ලෙස අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.
මන්ද යත් ඔවුන් වෙනුවෙන් කරන වියදම් අපතේ නොයන බවට මේ වනවිටත් සනාථ වී අවසන්ය.