එංගලන්තය සමගින් පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට සහභාගි වීම සඳහා ජේසන් හෝල්ඩර්ගේ නායකත්වයෙන් යුත් බ.ඉ.කොදෙව් කණ්ඩායම මේ වනවිට එංගලන්තය බලා පිටත්ව ගොස් ඇත.
මෙම සංචාරය ඇරඹීමට පෙර කොදෙව් සියලුම ක්‍රීඩකයන් මෙන්ම ඔවුන්ගේ පුහුණුකාරිත්ව මණ්ඩලය 'කෝවිඩ්-19' පරීක්ෂණයක් සඳහා සහභාගි වූ අතර, ඔවුන් ඉන් සමත් වීමෙන් පසු තරග සංචාරය ඇරඹීමට අවස්ථාව හිමිවිය. ඒ අනුව පසුගිය සඳුදා කොදෙව් කණ්ඩායම ඇන්ටිගුවා සිට එංගලන්තය බලා පිටත් වූ අතර, පෙරේදා අලුයම ඔවුහු මැන්චෙස්ටර් වෙත ළඟාවිය.
කෙසේ නමුත් කොදෙව් සිට පැමිණි ක්‍රීඩකයන් ඇතුළු සියලු පිරිසට ඉදිරි සති තුනක කාලය ජෛව ආරක්ෂිත පරිසරයක (Bio-secure environment) රැඳී සිටිය යුතු අතර, ඒ සඳහා ඕල්ඩ් ට්රැෆඩ්හිදී රැඳී සිටිමින් පුහුණුවීම්හි නිරත විය යුතු වේ. ක්‍රිකට් ඉතිහාසයේ මෙවැන්නක් සිදුවන පළමු අවස්ථාව මෙය වේ.
දෙරට අතර පළමු ටෙස්ට් තරගය ජූලි මස 08 වැනිදා සවුත්හැම්ටන්හිදී ආරම්භ වන අතර, ඔවුන්ට ඒ සඳහා පැමිණීමට අවස්ථාව හිමිවන්නේ ජූලි මස 03 වැනිදාය.
මෙම තරගාවලිය පැවැත්වීම පිළිබඳ අවසන් තීරණය මහා බ්‍රිතාන්‍ය රජය මෙන්ම කැරිබියානු රජය සතු වූ අතර, ඒ සඳහා වන අවසරය පසුගිය සතියේ හිමිවිය.