මෙවර ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන සිව්වැනි තරගය අද (11දා) බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව බ්‍රිස්ටල් හි කවුන්ටි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්ම බංග්ලාදේශ කණ්ඩායම සහභාගි වන සිව්වැනි තරගයද වේ.
ඊයේ (10 වැනිදා) පැවැති ද.අප්‍රිකානු - බ.ඉ. කොදෙව් තරගයට පෙරාතුව ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පස්වැනි ස්ථානයේ පසු වූ අතර බංග්ලාදේශ කණ්ඩායම අටවැනි ස්ථානයේ පසුවිණ. යම් හෙයකින් ඊයේ පැවැති තරගයෙන් බ.ඉ.කොදෙව් කණ්ඩායම ජයග්‍රහණය කළේ නම් ශ්‍රී ලංකා කණ්ඩායමට එක් ස්ථානයක් පහළට යන්නට සිදුවේ. කෙසේ වෙතත් අද තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළහොත් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය තෙක් ඉහළට ගමන් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබේ. එහෙත් වර්ෂාව හේතුවෙන් තරගය පැවැත්වීමට නොහැකි වුවහොත් දෙපිලටම ප්‍රසාද ලකුණු බැගින් හිමි වන බැවින් එය කණ්ඩායම් දෙකටම අවාසියකි. කෙසේ වෙතත් මේ දිනවල බ්රිස්ටල්වලට බල පැවැත්වෙන කාලගුණය අනුව අද තරගයටද වර්ෂාවෙන් බාධා ඇති වන ස්වභාවයක් දැකගත හැකිය.
පෙරේදා පැවැති පුහුණුවීම් අතරතුර ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් ආබාධයකට ලක්වීම නිසා ඔහු අද තරගයට සහභාගී වන්නේ නැත. එය ශ්‍රී ලංකා කණ්ඩායමට බලවත් පාඩුවකි. මන්ද, මේ අවස්ථාව වන විට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් හොඳින්ම පන්දු යවමින් සිටින්නේ නුවන් ප්‍රදීප් බැවිනි. ඇෆ්ගනිස්තානය සමග පැවැති තරගයේදීද කඩුලු 04ක් දවා ගනිමින් තරගයේ වීරයා සම්මානයද හිමිකර ගත්තේ ඔහුය. නුවන් අද තරගයට ක්‍රීඩා නොකරන බැවින් ජීවන් මෙන්ඩිස්, ජෙෆ්රි වැන්ඩසේ, මිලින්ද සිරිවර්ධන සහ අවිශ්ක ප්‍රනාන්දු අතරින් කෙනෙකුට එම අවස්ථාව හිමි වේ. බොහෝ දුරට එම අවස්ථාව, අවිශ්ක ප්‍රනාන්දුට (යහපත් ශාරීරක සුවතාවයෙන් සිටින්නේ නම්) හිමිවනු ඇත. තවද ළහිරු තිරිමාන්න වෙනුවට අවිශ්ක කණ්ඩායමට කැඳවා, නුවන් වෙනුවට මිලින්ද හෝ ජීවන් කණ්ඩායමට කැඳවන්නටද හැකිය. එහෙත් අප විශ්වාස කරන්නේ ජීවන් සහ මිලින්ද අතරින් මිලින්දට අවස්ථාව හිමිවිය යුතු බවයි.
මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් මේ දක්වා යම් ප්‍රගතියක් පෙන්නුම් කළද, කුසල් පෙරේරා හැරෙන්නට සෙසු පිතිකරුවන්ට තවමත් සිය හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට හැකියාවක් නොලැබුණි. මේ දක්වා පැවැති තරග දෙක තුළදී ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු 337ක් රැස් කර ගනු ලැබුවේ කඩුලු 20ක් ලබා දෙමිනි. එය කිසිසේත්ම සැහීමකට පත් විය හැකි තත්ත්වයක් නම් නොවේ. වර්තමානයේ බොහෝ කණ්ඩායම් කඩුලු තුන හතරකට රැස් කරන ලකුණු සංඛ්‍යාව තවමත් ශ්‍රී ලංකා කණ්ඩායම වාර්තා කරන්නේ කඩුලු 20ක් පමණ ලබාදෙමිනි. එහෙයින් තරගාවලියේ තව තවත් ඉදිරියට යාමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන්ට ඉදිරි තරග සියල්ලෙහිම සාර්ථක වන්නට සිදුවේ. විශේෂයෙන්ම කුසල් මෙන්ඩිස් මේ දක්වා කණ්ඩායම වෙනුවෙන් සිය වගකීම නිසි ලෙස ඉටු නොකළ බැවින් අද තරගයේදී හෝ කණ්ඩායම ඔහුගෙන් දිගු ඉනිමක් අපේක්ෂා කරන්නේය. කුසල් මෙන්ඩිස් සාර්ථක වුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට එතරම් අපහසුවක් නොවනු ඇත. මන්ද කුසල් මෙන්ඩිස්ට ඒ සඳහා හැකියාව ඇති බැවිනි. කුසල් මෙන්ඩිස් මෙන්ම ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා සහ තිසර පෙරේරාද තවමත් කණ්ඩායමට අවශ්‍ය දායකත්වය නිසි ලෙස ලබාදීමට අපොහොසත් වීම කණ්ඩායමට තදින් දැනෙමින් තිබේ. එහෙත් තම වගකීම් නිසි ලෙසින් ඉටු කිරීමට ඔවුන් වග බලාගත යුතුය.
බංග්ලාදේශ කණ්ඩායම පිට පිට තරග දෙකක් පරාජයට පත් වුවද ඔවුන් සිටිනුයේ ජයග්‍රාහී ලීලාවෙනි. පරාජයට පත් වූ තරග දෙකේදීම බංග්ලාදේශ පිතිකරුවන් මෙන්ම පන්දු යවන්නන්ද හොඳ සටනක් ලබා දුන්නේය. විශේෂයෙන්ම සකීබ් අල් හසන් සහ මුස්ෆිකර් රහීම්ද මේ වනවිට ලකුණු අතර සිටියි. එය බංග්ලාදේශයට සහනයකි.
අද තරගය මෙරට වේලාවෙන් ප.ව 03.00ට ආරම්භ වේ.
දිනේෂ් මන්ත්රිවිතාන