ක්‍රිකට් ක්‍රීඩාවේ කඩා වැටීම්වලට හේතු ගණනාවක් තිබෙන බවත්, ඇතැම් පුද්ගලයන් ක්‍රිකට් මණ්ඩල යොදා ගනිමින් ව්‍යාපාර කළ බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
කොළඹ ඔලිම්පික් නිවහනේ ඊයේ (25දා) පැවැති මාධ්‍ය හමුවකදී කාරියවසම් මහතා මේ බව අනාවරණය කළේය.
දේශපාලනඥයන් සිය වැඩේ කළ යුතු බවත්, ඔවුන් අනුන්ගේ වැඩ නොකළ යුතු අතර, එසේ නොවුණොත් සිදුවන්නේ තමන්ගේ හෝ අනුන්ගේ කිසිදු වැඩක් නොකෙරීම බවත් ඒ මහතා පැවසීය. අද අපේ ක්‍රිකට් ක්‍රීඩාවට සිදුව තිබෙන්නේද මෙය බව හෙතෙම මෙහිදී සඳහන් කළේය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“ක්‍රිකට් ක්‍රීඩාවේ බරපතළ කඩා වැටීමක් තියෙනවා. මම ආණ්ඩුවේ ඉඳලත්, ඇමතිවරයෙකු වශයෙනුත් කියනවා ක්‍රිකට් කඩා වැටීමට විවිධ අතගැසීම්, එක එක අය ක්‍රිකට් මණ්ඩල යොදාගෙන බිස්නස් කිරීම්, ක්‍රිකට් පාවිච්චි කරලා තමන්ගේ ගොඩවැඩි කර ගැනීම්, තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍ර යොදාගෙන ක්‍රීඩකයෝ ඇතුළට ඔබන්න හැදීම් වගේ දේවල් නිසා තමයි අපේ ක්‍රිකට් ක්‍රීඩාව කඩා වැටුණේ කියලා.
ක්‍රිකට් ක්‍රීඩාව කරන්න දෙන්න ඕන ක්‍රිකට් ක්‍රීඩාවට ආදරේ තියෙන අයට. ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂ ක්‍රීඩකයෝ තෝරන්න ක්‍රමවේදයක් හදලා නැහැ. ඒ හදන ක්‍රමවේදයන්ගෙන් දක්ෂයන්ට ඉදිරියට එන්න අවස්ථාව දෙන්න ඕන.
ක්‍රිකට් ක්‍රීඩාවේ කඩා වැටීම බලන් ඉන්න බැරිම තැන අපි තීරණය කළා අපේ වැඩකොටස කරන්න. අධ්‍යාපන අමාත්‍යාංශය සියලුම ක්‍රිකට් ක්‍රීඩකයන්ට ආරාධනා කළා අපි අඩුම තරමේ අපේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාවවත් ගොඩගනමු කියලා. කියන්න සතුටුයි ලංකාවේ හිටපු ජනප්‍රියම ක්‍රීඩකයෝ වන සිදත් වෙත්තමුණි, මුරලි, සංගා, මහේල මේ සියලුදෙනා ආවා. ඔවුන් කිවුවේ අපි ලෑස්තියි පාසල් මට්ටමින් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කරන්න.
පාසලෙන් තමයි ක්‍රිකට් හදන්න ඕන කියලා. මේ වැඩපිළිවෙළට එකතු වෙන්න අපි අපේ ක්‍රීඩා අංශයට මෙතුමන්ලාව භාරදීලා අපි දේශපාලනඥයෝ විදියට, පහසුකම් සපයන්නෝ විදියට අපි කටයුතු කළා. මෙතුමන්ලා තමයි මේ විෂය දන්නේ. අපි කළේ අපෙන් මොනවද විය යුත්තේ කියන එක ඔවුන්ගේ විමසීමයි. පහසුකම් දෙනවා, සල්ලි දෙනවා මේක හදලා දෙන්න, මේකට මැදිහත් වෙන්නේ නැහැ අපි කියලා කිවුවා.
අපි අපේ වැඩේ කරන්න යන්න ඕන, අපි අනුන්ගේ වැඩ කරන්න යන්න හොඳ නැහැ. තමන්ගේ වැඩේ කරන්නෙත් නැහැ, අනුන්ගෙ වැඩ කරන්නෙත් නැහැ. මේක තමයි අපේ ක්‍රිකට් ක්‍රීඩාවට වෙලා තියෙන්නේ. අපේ රට මුලින්ම ලෝකයට ගෙනිච්ච එකම ක්‍රීඩාව ක්‍රිකට් ක්‍රීඩාව. මොකද දේශපාලනයෙන් ගෙනිහින් තියෙවාද. ඒ නිසා අපේ තියෙන මේ දේවල් විනාශ කරන්න හොඳ නැහැ.
මේවා බදාගෙන ඉන්නෙ නැතිව මේවගෙන් ඈත්වෙලා කටයුතු කරන්න ඕන. එහෙම නොවුණොත් මේ ක්‍රීඩාව ගොඩ ගන්න ලැබෙන්නේ නැහැ. අපි රටට ආදරේ මිනිස්සු වෙන්න ඕන. හැමතැනම ඩීල් දාලා, හැම එකටම රිංගනවා. ක්‍රීඩාවට හෙණ ගහලා ගියත් කමක් නැහැ මිනිස්සු තමන්නේ වැඩේ විතරක් කරගන්න හදනවා.” යැයි පැවසීය.