ඕෂිත වරකපිටිය (බී.බී.සී. ඇසුරිනි)
ලෝකය යා කරනා විශ්ව භාෂාවන් අතරේ ක්‍රීඩාවට හිමි වනුයේ සුවිශේෂී ස්ථානයකි. රටක ජනප්‍රිය ක්‍රීඩාවක් තවත් රටක ජනප්‍රිය නොවූවද ක්‍රීඩාවට ඇල්මක් ඇති අයවලුන් සිටින විට ඉබේම එම ක්‍රීඩාවද අදාළ රටේ ජනප්‍රිය වේ.
අද අපගේ කථා නායකයා වන්නේ පාකිස්තානු ජාතික අබ්දුල් ෂකූර්ය. දිනෙන් දින වර්ධනය වන ජර්මානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ලෙසින් ඔහුව දැන් හඳුනාගත හැකි වුවත්, වසර 5කට පෙර හෙතෙම ජර්මනියට සංක්‍රමණය වූයේ සරණාගතයෙකු ලෙසිනි.
2018 වර්ෂයේදී අයි.සී.සී.ය මගින් ජර්මනියට පූර්ණ අන්තර්ජාතික විස්සයි 20 වරම් ලබාදුන් අතර, එහිදී ෂකූර්ද ජර්මනිය නියෝජනය කරමින් පළමු අන්තර්ජාතික තරගයට ක්‍රීඩා කිරීමේ වරම් දිනා ගත්තේය. තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස මේ දක්වා අන්තර්ජාතික තරග 9කට එක්වී ඇති ෂකූර් ඉනිම් 7කට සහභාගි වී ලකුණු 102ක් ලබාගෙන ඇත්තේ අර්ධ ශතකයක්ද වාර්තා කරමිනි. ඊට අමතරව දකුණතින් දඟ පන්දු යවන්නෙකු ලෙසින් කඩුලු 7ක්ද ඔහු විසින් දවාගෙන තිබේ.
තවමත් 21 හැවිරිදි වියේ පසුවන ෂකූර් ජර්මනියට සංක්‍රමණය වීම දැඩි දුක් ගැහැට මැදින් සිදුවූවකි. එමෙන්ම ඉසුරු සොයා එංගලන්තය බලා පිටත් වූ ෂකූර්ගේ ජර්මානු ගමනද අහම්බයක් වීම තවත් පුදුමය දනවනසුලුය.
15 හැවිරිදි ෂකූර්ගේ උපන් ගම වූයේ උතුරු පකිස්තානයේ පේෂාවර් නගරයයි. දරිද්‍රතාවෙන් බැටකන බොහෝ දකුණු ආසියානු කලාපීය තරුණයන්ගේ මෙන්ම ෂකූර්ගේද සිහිනය වූයේ සැප පහසු යුරෝපානු රටකට සංක්‍රමණය වී, සිය ජීවිතය පහසු කරවා ගැනීමයි. ඒ සඳහා දුෂ්කර ගමනකට මුල පුරමින් ෂකූර් විසින් නියෝජිතයෙකු ලෙස හඳුනා ගන්නා තැනැත්තෙකුට ඩොලර් 2000 (රුපියල් 373000)ක මුදලක් ලබා දෙනුයේ තුර්කියට ළගා වීමටය.
කෙසේ වෙතත් යුරෝපය හරහා ගමන් කිරීමට ඔහුට තවත් මුදල් අවශ්‍ය වූ අතර, බල්ගේරියාව, හරහා පොලිස් වෙඩි පහරට හසුනොවී ගමන් කළ ඔහු අනතුරුව සර්බියාව, හංගේරියාව හා ඔස්ට්‍රියාවට පැමිණියේය. එහිදී මිතුරන්ගේ උපදෙස වූයේ ජර්මනිය ඔහුට වඩාත් උණුසුම් පිළිගැනීමක් ලබා දෙනු ඇති බවයි.
ජර්මනියට පැමිණෙන විට ෂකූර් සතුව ඔහු ඇඳ සිටි ඇඳුම්, යුරෝ 100 (රු. විසිදහසක්)ක පමණ මුදල් හා ජංගම දුරකථනයයක් හැරෙන්නට වෙන කිසිවක් තිබුණේ නැත.
“මම තරුණයි. ඒ නිසා මම ඒ අවදානම ගන්න බය වුණේ නෑ. ඒක හරිම භයානක වැඩක්. දේශසීමාවලදී පොලීසිය හෝ හමුදාව දැක්කොත් වෙඩි කාල මැරෙන්න ඉඩ තිබුණා.” යැයි මේ පිළිබඳව අදහස් දක්වමින් ෂකූර් පැවසීය. බල්ගේරියානු දේශසීමාවේදී පොලිස් වෙඩි පහරකට ලක්වීමෙන් ෂකූර් ඇතුළු පිරිස දිවි ගලවා ගෙන ඇත්තේ අනූ නමයෙනි.
අපිට බොහෝ අවස්ථාවලදී නියෝජිතයෙක් (Agent) හිටියෙ නෑ. තුර්කියේදී අපේ නියෝජිතයා අපිට කෙළින්ම යන්න කිව්වා බල්ගේරියාවේදී කවුරුහරි හමුවෙයි කියලා. මොන පැත්තකට යන්නද කියලා අපි දන්නෙ නෑ. ගොඩක් වැරදි පාරවල්වල ගියා. ආහාර තිබුණ තැන් අපිට මග හැරුණා. අපි දවස් හය හතක් ඇවිදගෙන ගියා.” යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්විමින් ෂාකූර් පවසා ඇත.
කෙසේ වෙතත් අවසානයේ ඔස්ට්‍රියාවට පැමිණි ෂකූර්ට ඔහුගේ ඉරණම වෙනස් කරන දුරකථන ඇමතුම ලැබිණි. ඒ ඔහුගේ එංගලන්තයේ සිටි යහළුවන්ගෙනි.
“ඔවුන් මට කිව්වා එංගලන්තයේදී මගේ ගමන සමහර විට අනතුරුදායක වෙන්න පුළුවන් කියලා. ඔවුන් මාව පිටුවහල් කරන්න ඉඩ තිබුණා. එහෙම වුණොත් මගේ මුදල් හා මහන්සිය අපතේ යයි. ඒ අනුව මම කල්පනා කරලා තමයි ජර්මනියට යන්න හිතුවේ. ක්‍රිකට් ක්‍රීඩාව කරන්න බැරිනම් මට වැඩ කරල හරි ජීවත් වෙන්න පුළුවන්.”
ජර්මනියේදී වයස අවුරුදු 18ට අඩු ළමුන් සඳහා වූ සරණාගත කඳවුරකට යොමු වූ ෂකූර්ට එහිදී සතියකට යුරෝ 10-15ක් (රු.2000-3000) අතර මුදලක් මෙන්ම අලුත් මිතුරන්ද දැන හඳුනා ගැනීමට හැකි වී තිබේ.
“එතනට හැමෝම අලු ත් කෙනෙක්. කවුරුවත් අනෙක් කෙනාව දැනන් හිටියේ නෑ. හැම කෙනෙක්ම හිතුවේ මම මෙහේ ජීවත් වෙන්නේ කොහොමද කියලායි. ජර්මානු භාෂාව ඉගෙන ගන්නේ කොහොමද, පස්සේ රස්සාවක් හොයා ගන්නේ කොහොමද කියලා. කාටවත් ක්‍රිකට් ගහන්න හිතුනේ නෑ. මාත් එහෙමයි. මාස එකහමාරක් මම ජර්මානු භාෂාව ඉගෙන ගන්න පන්ති ගියා හැරෙන්න වෙන දෙයක් කළේ නෑ.” යැයි හෙතෙම පැවසීය.
“දෙවැනි මාසයේදී මම මගේ ගුරුතුමියගෙන් ඇහුවා ක්‍රිකට් ක්‍රීඩා සමාජයක් හොයා ගන්නේ කොහොමද කියලා. ඇයට හිටියා ටෙනිස් ක්‍රිකට් සෙල්ලම් කරන්න දන්න ඉන්දියානු පෙම්වතෙක්. ඊට පස්සේ සතියේදී මාව අලුත් නගරයට යැව්වා. ඒකෙදී හොයපු දේ (ක්‍රිකට්) ලැබුණා.”
පසුව ඉදිකිරීම් සම්බන්ධව ඩිප්ලෝමාවක් ආරම්භ කිරීමට තරම් දියුණු වූ ෂකූර්ට මහල් නිවාසයක ගෙයක් ලබා ගැනීමට හැකිවී තිබේ. කෙසේ වෙතත් ක්‍රිකට් පිළිබඳ ඔහුගේ ආසාව අත් නොහැරිනි.
“අලුත් රටක දෙයක් ආරම්භ කිරීම පහසු නැහැ, අපි කිසිවක් දන්නේ නෑ. භාෂාව ඉගෙන ගන්න ඕන. මිනිසුන් දැනගන්න ඕන. නමුත් ක්‍රිකට් වගේ දෙයක් සොයා ගන්නවා නම් ඔබට එය විනෝදයෙන් කරන්න පුළුවන්. ඔබට අලුත් හැඟීමක් එනවා. යැයි හෙතෙම පවසයි.
“පස්සේ මම ඊළඟ ගිම්හානයේදී ක්‍රීඩා සමාජයක් එක්ක කතා කරලා ඔවුන් සමගින් පුහුණුවීම් ආරම්භ කළා. ඊළඟ තරග කාල සමයේදී ඔවුන් සමග ක්‍රීඩා කරන්න ගිවිසුම්ගත වුණා. මට සැලසුමක් ආවා. හැම සති අන්තයකම ක්‍රිකට් ක්‍රීඩා කරන්න යොමු වුණා.” යැයි හෙතෙම සතුටින් පැවසීය.
ඉංග්‍රීසි ඉගැන්වීම උදෙසා ජර්මනියට පැමිණි බ්‍රයන් මැන්ටල්ද මෙහි පැමිණියේ ක්‍රිකට් පිළිබඳව අදහසකින් නොවේ. අද වනවිට ඔහු ජර්මානු ක්‍රිකට් සම්මේලනයේ (ඩී.සී.බී) ප්‍රධාන විධායක නිලධාරියාය.
ඔහු පවසන පරිදි 2015 වර්ෂයේදී ජර්මානු ක්‍රිකට් නව මාවතකට යොමුවී තිබේ. පසුව නිසි මාවතක් නොමැති තරුණ ක්‍රීඩකයන් රාශියක් එක් රැයකින් මෙහි ගෙන්වාගෙන ඇත. “දිනපතාම පාහේ අපිට නව ක්‍රීඩා සමාජයක් ආරම්භ කිරීමට අවස්ථාවක් හිමි වුණා” යැයි හෙතෙම ප්‍රකාශ කළේය.
පසුගිය ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේදී ජර්මනියට සුදුසුකම් ලබා ගැනීමේ වරම් අහිමි වුවත් ඔවුන් දක්ෂතා අතර සිටියේය. ජර්මානු පිරිමි ක්‍රිකට් ක්‍රීඩාවට අමතරව කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේද යම් දියුණුවක් ඇති අතර, පිරිමි ශ්‍රේණිගත කිරීම්වලට වඩා කාන්තා ශ්‍රේණිගත කිරීම්හි ඔවුන් ඉහළින් පසුවේ.
“අපි කිසිම විටෙක බලාපොරොත්තු වුණේ නැහැ මේ මිනිස්සු ආස කරන, ප්‍රසිද්ධ වෙන ක්‍රීඩාවක් නිර්මාණය කරන්න අපිට හැකිවෙයි කියලා. තාමත් අපිව ගොඩක් ප්‍රසිද්ධ නැහැ. නමුත් අපිට ලෝක කුසලානයකට යන්න, ජර්මානු ඔලිම්පික් කමිටුවේ සාමාජිකයන් වීමට බලාපොරොත්තුවක් නැහැ. නමුත් ඒවා ඉක්මනටම වෙයි. කවුරුවත් අපිව ලොකුවට ගණන් ගත්තේ නැහැ. නමුත් දැන් ඒක වෙනවා.” යනුවෙන් බ්‍රයන් මැන්ටල් පවසයි.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (අයි.සී.සී.) ප්‍රධාන විධායක නිලධාරී ඩේව් රිචඩ්සන්ගේ පුත්‍රයා වන මයිකල් රිචඩ්සන්ද ජර්මානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු බව පැවසීම ඇතැම්විට පුදුමයට කරුණකි. කණ්ඩායමේ කඩුලු රකින්නා වන ඔහු මේ දක්වා ජර්මනිය නියෝජනය කරමින් අන්තර්ජාතික තරග 5කට ක්‍රීඩා කොට තිබේ. දකුණු අප්‍රිකාවේ උපන් රිචඩ්සන්ට අමතරව, ඉන්දියාව, පකිස්තානය හා ඇෆ්ගනිස්ථානය වැනි රටවල් නිජබිම කරගත් ක්‍රීඩකයෝ ජර්මානු ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරති.
“මට සරණාගතයන් ගැන තිබ්බේ වැරදි වැටහීමක්. නමුත් ඔවුන් ඉතා නිහතමානියි. ජර්මානු භාෂාව ඔවුන් චතුර විදිහට කතා කරනවා. ඉංග්‍රීසි හා ඔවුන්ගේ මවු භාෂාවත් කතා කරන්න පුළුවන්.” යනුවෙන් මැන්ටල් පවසයි.
පාපන්දුවලින් ලොව අංක එකේ කණ්ඩායමක් සිටින, සිවුවරක් ලෝක පාපන්දු කිරුළ දිනා සිටින ජර්මනියේ ක්‍රිකට් ක්‍රීඩාවද ක්‍රමයෙන් නැගී සිටින බව මේ වනවිට පැහැදිලිය. ඔවුන් අවසන් වරට ජාත්‍යන්තර පිටියේදී මුහුණදුන් තරග 10න් 6ක්ම ජය ගැනීමට සමත්ව තිබේ.