ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීම ලබන වසර දක්වා කල් යන බව 'අද'ට වාර්තා වේ. ඒ විවාදයට තුඩුදුන් නිලවරණ කමිටුව පත් කිරීම දිනෙන්දින ප්‍රමාද වන හෙයිනි. කෙසේ වෙතත් මේ වන විට නිලවරණ කමිටුව, ඔවුන්ගේ සංයුතිය සහ කාර්යභාරය පිළිබඳ කෙටුම්පතක් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් මෙරට ජාතික ක්‍රීඩා සංගම් වෙත යොමුකර ඇති අතර, එම කෙටුම්පතේද දෝෂසහගත වගන්ති පවතින බව නීති විශාරදයෝ පෙන්වා දෙති.
මේ අනුව මෙරට ජාතික ක්‍රීඩා සංගම් සමග යළිත් මේ පිළිබඳ ලබන සතියේ සාකච්ඡා කර එම දෝෂ මගහරවා ගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.
මේ අතර, මෙම නිලවරණ කමිටුව පත්කිරීමත් සමග පැවැත්වෙන පළමු නිලවරණය වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය කල් යෑම දැනුම් දීමට ක්‍රීඩා අමාත්‍යවරයා ලබන 29 වැනිදා ඩුබායිහිදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිතයන් හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.
ඒ අන් කිසිවක් නිසා නොව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ක්‍රිකට් නිලවරණය පැවැත්වීම සඳහා කල් ලබාදී තිබුණේ මෙම වසරේ දෙසැම්බර් මස 31 වැනිදා දක්වා පමණක් වීම හේතුවෙනි. කෙසේ වෙතත් නව නිලවරණ කමිටුව පත් කර මාස 04කින් පසුව නිලවරණය පැවැත්වීමට නීති සම්පාදනය කර ඇති හෙයින් ක්‍රිකට් නිලවරණය ලබන වසර දක්වා කල් යන ලකුණු පහළ වී තිබේ.
එමෙන්ම නව නිලවරණ කමිටුව පිළිබඳ කෙටුම්පත තවමත් සාකච්ඡා මට්ටමේ පවතින හෙයින් නිලවරණ කමිටුව පත් කිරීමට තවත් මාස එකහමාරකට වැඩි කාලයක් ගතවන බව වාර්තා වේ.
ජාතික ක්‍රීඩා සංගම් සඳහා බලපාන නව නිලවරණ කමිටුවේ සංයුතිය සඳහා පුද්ගලයන් 10ත්, 15ත් අතර සාමාජිකයන්ගෙන් යුත් සංචිතයක් ඉදිරියේදී (නව නිලවරණ කමිටුව පත් කිරීමට ක්‍රීඩා සංගම් වෙත ලබාදී ඇති කෙටුම්පතේ දෝෂ නිවැරදි කිරීමෙන් අනතුරුව) ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ගැසට් කිරීමට නියමිතය.
මෙම පත් කරන ලද සංචිතයේ සියලුම සාමාජිකයන් මෙරට ස්ථාපිත මහාධිකරණ, අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ගෙන් සමන්විත වේ.
කෙසේ වෙතත් මෙම සංචිතයෙන් විනිසුරුවන් 03ත්, 05ත් අතර සංඛ්‍යාවක් (අවම 03ක් සහ උපරිම 05ක්) නව නිලවරණ කමිටුවේ සංයුතිය ලෙස නව කෙටුම්පතේ දක්වා තිබේ.
නව නිලවරණ කමිටුවට ක්‍රීඩාව පිළිබඳ ප්‍රායෝගික දැනුම ඇති පුද්ගලයන් කිසිවකුත් නම් කර නොතිබීම සුවිශේෂීය.
එමෙන්ම නිලවරණය සඳහා තරග කිරීමට සුදුසු පුද්ගලයන් මෙන්ම ඡන්ද හිමි ක්‍රීඩා සමාජ (ඡන්දය භාවිත කරන පුද්ගලයන් කවුද යන්න) තීරණය කරනු ලබන්නේද මෙම පත් කරන නව නිලවරණ කමිටුව විසිනි. මෙහිදී නිලවරණ කමිටුවේ සාමාජිකයන් ක්‍රීඩා සංගමයක හෝ සාමාජික ක්‍රීඩා සමාජයක සාමාජිකත්වය ලබා නොතිබිය යුතු බවද සඳහන් කර තිබේ.
මීට අමතරව නිලවරණ කමිටුවේ කාර්යභාරයද දක්වා ඇති අතර, නාමයෝජනා කැඳවීමේ සිට නිලවරණය පැවැත්වීම සඳහා සති 18කට ආසන්න කාලයක් ඇතුළත් කර තිබීම සුවිශේෂීය.
මේ අතර, ක්‍රීඩා පනතේ ක්‍රීඩා අමාත්‍යවරයාට හිමි අභිමතය (අභියාචනා විභාග කිරීම සම්බන්ධයෙන්) ත්‍රිපුද්ගල විනිසුරු කමිටුවකට පවරන බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා 'අද'ට පැවසීය.
"ක්‍රීඩා රෙගුලාසිවල පවතින අඩුපාඩු පිළිබඳ අපි ජාතික ක්‍රීඩා සංගම් සමග කතා කළා. එහිදී ඔවුන් පෙන්වා දුන්නේ නිලවරණ කමිටුව පත් කිරීම සහ අභියාචනා විභාග කිරීමේ බලය අමාත්‍යවරයා වෙත පැවරීම නීතිමය ගැටලුවක් ඇති කරන්න පුළුවන් කියලා. ඒකෙ යම් සත්‍යතාවක් තිබෙනවා කියලා මම පිළිගන්නවා.
ඒ මත මගේ අභියාචනා විභාග කිරීමේ අභිමතය මම අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් තිදෙනෙක් යටතට පත් කරනවා. එතකොට මම ඇමති වුණත් අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ලබාදෙන තීන්දුවලට මට අභියෝග කිරීමේ හැකියාවක් නැහැ.
මම දේශපාලනඥයෙක්. මම තීන්දු තීරණ ගන්නා විට නොයෙක් අය කියන්න පුළුවන් දේශපාලන අතපෙවීම් කරනවා කියලා. ඒ නිසයි මගේ අභිමතය මම ත්‍රිපුද්ගල කමිටුවක් යටතට පත් කරන්නේ. මම බැඳී සිටිනවා එම ත්‍රිපුද්ගල කමිටුව ලබාදෙන තීන්දුව ක්‍රියාත්මක කිරීමට. ඒ තුළින් මම විශ්වාස කරනවා ක්‍රීඩාවේ ස්වාධීනත්වය ස්ථාපිත කරන්න හැකිවේවි කියලා" යැයි ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අමාත්‍යවරයා කරුණු දැක්වීය.