මෙවර නිලවරණයෙන් සිය පාර්ශ්වය පැහැදිලි ජයග්‍රහණයක් ලබාගන්නා බවත් මේ වනවිටත් සිය පාර්ශ්වයට ඡන්ද සියයකට අධික ප්‍රමාණයක් තිබෙන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයට ඉදිරිපත්වන මොහාන් ද සිල්වා පාර්ශ්වය සඳහන් කරයි.
ඊයේ (17දා) පැවති නිලවරණයකදී වැඩිදුරටත් අදහස් දැක්වූ එම පාර්ශ්වය පැවසුවේ යම් හෙයකින් ශ්‍රී ලංකා ක්‍රිකට්, අයි.සී.සී. ය මගින් තහනමකට ලක් වුවහොත් ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා වගකීම භාරගත යුතු බවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඉදිරිපත් වන මොහාන් ද සිල්වා පාර්ශ්වයේ ස්ථාවරය ඉදිරිපත් කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව පැවැත්වූ අතර, මෙම පාර්ශ්වය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතාට සහාය දක්වයි.
මේ සඳහා මොහාන් ද සිල්වා, ෂම්මි සිල්වා, රවීන් වික්‍රමරත්න ඇතුළු එම පාර්ශ්වයෙන් නිලවරණය සඳහා තරග වදින සාමාජිකයන් හත් දෙනෙක් පැමිණියහ. කෙසේ වෙතත් නිලවරණයට ඉදිරිපත් නොවන තිලංග සුමතිපාල මහතා මෙම මාධ්‍ය හමුවට නොපැමිණියේය.
මෙහිදී වැඩිදුරත් අදහස් දැක්වූ මොහාන් ද සිල්වා,
"නිලවරණ කමිටුව විසින් අපේ කණ්ඩායමේ හත් දෙනාගේම නාමයෝජනා පිළිගෙන තිබීම ගැන සතුටුයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2016 වර්ෂයේදී අපි භාර ගන්නකොට බිලියන 4ක ණය ප්‍රමාණයක් තිබ්බ ආයතනයක් නමුත් අපි වසරක් ඇතුළත අපිට හැකිවුණා. ඒ ණය පියවලා ඒ වර්ෂය අවසන් වනකොට බිලියන 2ක ශුද්ධ ලාභයක් ලබාගන්න. නිදහස් කුසලානයෙනුත් බිලියනයක පමණ ශුද්ධ ලාභයක් ගන්න අපිට හැකිවුණා.
මෙපමණ වැඩ කරපු අපේ කමිටුව තමයි අද යම් යම් අය විවේචනයට ලක් කරන්නේ. දැන් වසර දෙකක් පමණ ඉඳන් තරග පාවාදීම් ගැන පරීක්ෂණ පැවැත්වුවාට තවමත් අපිට චෝදනා පත්‍රයක් දීලා නෑ. පසුගිය මැයි මාසයේදී නිලවරණය පැවැත්වීමට පැනෙව්ව වාරණය නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට දැඩි පාඩුවක් සිද්ධ වුණා. කවදා නිලවරණය තිබ්බත් අනිවාර්යයෙන්ම අපේ කණ්ඩායම ජයග්‍රහණය කරන එක නියතයි.
අද අපිට ආරංචියක් ලැබුණා නිලවරණය කල්දැම්මා කියලා. මේක ටිකක් භයානක ආරංචියක්. මොකද අයි.සී.සී. එකෙන් එළඹෙන පෙබරවාරි 9 වැනිදාට කලින් නිලවරණය තිබිය යුතුමයි කියලා දැනුම් දීලා තිබෙනවා. මේ ගැන අපිට අනිවාර්යයෙන්ම අයි.සී.සී.යට දන්වන්න වෙනවා. මේ වගකීම ක්‍රීඩා අමාත්‍යවරයා භාරගත යුතුයි. නිලවරණය කොච්චර කල් දැම්මත් අපි ශක්තිමත් කණ්ඩායමක්. බහුතරයක් අපි සතුයි. අපේ ජයග්‍රහණය ගැන අපිට ලොකු විශ්වාසයක් තිබෙනවා, යැයි පවසා සිටියේය.
මෙහිදී අදහස් දැක්වූ ෂම්මි සිල්වා මහතා මෙසේද පැවසීය.
"මේ කණ්ඩායම පසුගිය වසර 20ක කාලය ඇතුළේදී අපි කණ්ඩායමක් හැටියට කවදාවත් වෙනස් වෙලා නෑ. මේ නිලවරණයට සමහරු බොරු සුදුසුකම් හදාගෙන ඇවිල්ල තියෙනවා. මොකද ඒ පුද්ගලයාව අපි ප්‍රතික්ෂේප කරපු නිසා."
ඡායාරූප - ක්‍රිෂාන් රණසිංහ