ක්‍රිකට් ක්‍රීඩාව හරහා ජාත්‍යන්තර ජය ගැනීමට හැකි වූ බවත් ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා කර ගත යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආසියානු මලල ක්‍රීඩා උළෙලට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හමුවීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා ඊයේ (07දා) අරලියගහ මන්දිරයේදී මේ බව ප්‍රකාශ කළේය.
“අවාසනාවකට ජාත්‍යන්තර මට්ටමේ තරඟවලට යොමුවී පදක්කම් දිනා ගැනීමේ පසුබිමක් අප ඇති කරලා නැහැ. ක්‍රිකට් ක්‍රීඩාව හැර අනෙක් ක්‍රීඩාවල එම අඩුපාඩුව දක්නට තිබෙනවා. කාලයක් තුල දැරූ උත්සාහයක ප්‍රතිඵල නිසා ක්‍රිකට් ක්‍රීඩාව මගින් ජාත්‍යන්තරය ජය ගැනීමට හැකිවුණා. අද අප එය ආරක්ෂා කර ගත යුතුව තිබෙනවා.”
ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අත දීමේ අරමුණින් "අග්‍රාමාත්‍ය ක්‍රීඩා අරමුදල" නමින් නව අරමුදලක්ද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ අතර එම අරමුදල රුපියල් මිලියන 50ක මූලික මුදලකින් ආරම්භ කළේය.
වත්මන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම දක්ෂතා ඇති නවකයින්ට ක්‍රීඩා ක්ෂේත්රයේ ඉදිරියට ඒමට ආධාර උපකාර කිරීම මෙම අරමුදලේ මූලික අරමුණ වී තිබේ.
“ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අතදීමේ අරමුණින් මෙම අරමුදල අපි ආරම්භ කළා. ඒ මගින් ක්‍රීඩාවට අවශ්‍ය ආධාර මුදල් රාජ්‍ය හා වෙනත් අංශ වලින් විටින් විට ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා. ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා මා සමඟ මේ පිළිබඳව කතා බහ කළා. ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උපකාර කරන්නේ කෙසේද යන්න පිළිබඳ එතුමාට අදහස් ගණනාවක් තිබුණා. ඒ නිසා මේ අරමුදල ආරම්භ කිරීමට මා එකඟ වුණා.”