දකුණු පළාත් ක්‍රිකට් සංගමයේ විගණනය මේ වන විට ආරම්භ වී ඇතත් තවමත් පරිපාලනය සිදු කරන්නේ බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමයෙන් වීම හේතුවෙන් දකුණු පළාතට ලැබිය යුතු වරප්‍රසාද රැසක් බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමය අත්තනෝමතිකව ලබාගෙන ඇතැයි 'අද'ට වාර්තා වේ.
මේ අතර පසුගියදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී නිමා වූ ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් තරගයේ ආදායමද බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමය මගින් පිල්ලි ගසා ඇතැයි පිරිසක් චෝදනා කරන අතර, එම තරගයේදී දකුණු පළාතේ ප්‍රධාන දිස්ත්‍රික් ක්‍රිකට් සංගම් වන ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික් ක්‍රිකට් සංගම් නියෝජිතයන්ව නොසලකා හරිමින් බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමයේ නිලධාරීන් වැඩි වරප්‍රසාද ලබාගෙන ඇති බවට අනාවරණය වේ.
එමෙන්ම දකුණු පළාත් ක්‍රිකට් සංගමය යටතේ ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සේවය කළ සේවකයන් තිදෙනෙක් (ක්‍රීඩාංගණ සම්බන්ධීකාරක මහේෂ් සංජීව, පරිගණක ක්‍රියාකාරිනියක සහ ගිණුම්කරණ ලිපිකාරිණියක වන බී. ආර්. එම්. රිෆානා නිසාම් සහ ඩී. ජී. දිස්නා සජීවනී) කිසිදු හේතුවක් නොදන්වා සේවයෙන් ඉවත් කර වසර 02කට ආසන්න කාලයක් ගත වුවත් ඔවුනට තවමත් සාධාරණයක් ඉටුවී නොමැති බව ඔවුහු පෙන්වා දුන්හ.
ඔවුන්ගේ සේවයට තිත තැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු පරිපාලනය හර්ෂ මුණසිංහ, තරංග ඉන්දික, එම්. එම්. සිරාජ් සහ බී. එම්. ඩී. ලියනගේ යන සේවකයන් තවදුරටත් සේවයේ යොදවා තිබුණි. මින් තරංග ඉන්දික නමැත්තාට මුදලට තණතිලි සකසා ඇතැයි චෝදනා එල්ලවුණු අතර, ඔහු මේ වන විට වැඩ තහනමකට ලක් කර තිබේ.
අසාධාරණයට ලක් වූ පිරිස් පෙන්වා දෙන්නේ හිටපු ක්‍රිකට් පරිපාලනය සහ බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමය එක්ව තමන්ව සේවයෙන් ඉවත් කර ඔවුනට රිසි ආකාරයෙන් දකුණු පළාත් ක්‍රිකට් සංගමයේ කටයුතු හැසිරවීමට දීර්ඝකාලීනව සැලසුමක් ක්‍රියාත්මක කර ඇති බවත්, ඒ අනුව තවමත් දකුණු පළාතේ ක්‍රිකට් පරිපාලනය බස්නාහිර පළාතෙන් සිදු කරන බවත්ය.
අප මේ සම්බන්ධව බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමයේ ලේකම් අනුර වීරසිංහ මහතාගෙන් විමසීමක් කළ අතර, ඔහු පැවසුවේ ආදායම බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමයට බැර කර ඇතැයි නගන චෝදනා අසත්‍ය බවයි.
"අපිට දකුණු පළාතෙන් කවදාවත් ආදායමක් ආවේ නැහැ. දකුණු පළාත් ක්‍රිකට් සංගමයේ විගණනය ආරම්භ වුණාට තාම මහසභා රැස්වීමක් හෝ නිලවරණයක් පවත්වලා නැහැ. ඒ දේ කෙරුවාම තමයි ඔවුන් සක්‍රීය වෙන්නේ. හැබැයි දිස්ත්‍රික් ක්‍රිකට් සංගම්වල සියලුම ක්‍රීඩා සමාජ සහ නිලධාරීන් සම්බන්ධ කරගෙන තමයි හැමදාම ටෙස්ට් තරග සංවිධානය කරන්නේ. දකුණු පළාත් ක්‍රිකට් සංගමයේ සේවකයන්ට තවම වැටුප් ගෙවන්නේ බස්නාහිර ක්‍රිකට් පළාත් සංගමයෙන්, ඒ තවම දකුණු පළාත් ක්‍රිකට් සංගමය සක්‍රීය නැති නිසා.
ඉස්සර දකුණු පළාත් සේවකයන්ට හරියට සේවක අර්ථ සාධකවත් ගෙවලා තිබුණේ නැහැ. එක සේවකයෙකුටවත් ස්ථිර රැකියාව තිබුණේ නැහැ. මම භාරගත්තට පස්සේ තමයි ඔවුන්ට සේවා ලිපියක් පවා ලබාදුන්නේ පළමු වතාවට. සේවකයන් දන්නවා මේකේ ඇත්ත කතාව. දකුණු පළාත් ක්‍රිකට් සංගමයෙන් මේ අයව අවුරුදු 10ක් පරිපාලනය කළා. ඒ කාලේ ඔවුන්ගේ දෛනික වැටුප රු. 15000යි. අද රු. 35000ට වඩා වැඩියි.
මේ සේරම කියන්නේ දකුණු පළාත් ක්‍රිකට් සංගමයේ තනි පාලනයක් කරපු පුද්ගලයන් විතරයි. දැන් අවුරුදු දෙකක් තිස්සේ අපි කියනවා පළාත් ක්‍රිකට් සංගමය පිහිටුවන්න කියලා. දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයට පරිපාලනය දෙන්න බැහැ. මොකද දිස්ත්‍රික් ක්‍රිකට් සංගම් 03ක් තියෙන හින්දා. හැබැයි ගාලු දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සියලු දෙනාම සම්බන්ධ කරගෙන තමයි අපි මේවට ටෙස්ට් තරගය පැවැත්වුවේ.
හැම ක්‍රීඩා සමාජයකටම, නිලධාරියෙක්ටම හැඳුනුම්පත් දුන්නා, දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපතිට අපි දුන්නා ප්‍රවේශපත්‍ර 100ක්. ඒ දුන්නේ ක්‍රීඩා සමාජවලට බෙදන්න ඕන කියපු නිසයි. හැම ක්‍රීඩා සමාජයටම ප්‍රභූ පන්තියේ ප්‍රවේශපත්‍ර දෙකක් දුන්නා. හැමෝටම ආහාර දුන්නා. ඒ එකක්වත් අඩු කළේ නැහැ. විගණනය පටන්ගත්තා කියලා වැඩ භාරදෙන්න බැහැ. නිසි ක්‍රමවේද අනුව දිස්ත්‍රික් සංගම් තුන එකතුවෙලා පළාත් සංගමය පිටුවන්න ඕනේ. අපි එක දවසක්වත් මෙතන ඉන්නේ නැහැ" යනුවෙන් වීරසිංහ මහතා මේ පිළිබඳව වැඩිදුරටත් පැවසීය.
කෙසේ වෙතත් මෙම වසරේ මැයි මස 05 වැනි දින දකුණු පළාත් ක්‍රිකට් සංගමයේ විශේෂ රැස්වීමක් පවත්වා ඇති අතර, එම රැස්වීමේදී දකුණු පළාත් ක්‍රිකට් සංගමයේ මූලස්ථානය වන ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අත්පත් කරගෙන තිබීම සම්බන්ධයෙන් එහි සභාපති පියසේන ගමගේ මහතා කනගාටුව ප්‍රකාශ කර තිබේ.
ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අයිතිය සම්බන්ධයෙන් මේ වන විට ගැටලුකාරී වාතාවරණයක් මතුව තිබෙන අතර, මීට ක්‍රිකට් ආයතනයෙන් හෝ විසඳුමක් ලබාදීමට හිටපු මෙන්ම වත්මන් බලධාරීන්ද අපොහොසත් වී තිබේ.
අප මේ සම්බන්ධව ගාල්ල දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ ලේකම් නිහාල් හෙට්ටිආරච්චි මහතාගෙන් විමසීමක් කළ අතර, ඔහු පවසා සිටියේ පරිපාලනය තම සංගමයට ලබාදෙන්නේ නම් එය අකුරට ඉටුකළ හැකි බවයි.
"දකුණු පළාත් ක්‍රිකට් සංගමය දැනට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එත් අපි පසුගිය කාලේ එක රැස්වීමක් පැවැත්වුවා. ඉස්සර ගාල්ල ක්‍රීඩාංගණය පාලනය කළේ දකුණු පළාත් ක්‍රිකට් සංගමයෙන්. දැන් පාලනය වන්නේ බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමයෙන්. කොළඹ දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයෙන් පාලනය වෙනවා නම් අපිට ඒකට විරුද්ධ වෙන්න පුළුවන්. දැන් දකුණු පළාත් ක්‍රිකට් සංගමයේ විගණනය සිදු වෙනවා. පරිපාලනය කරන්න දිස්ත්‍රික් සංගමයට දෙනවා නම් අපි එකට සූදානම්. පළාත් සංගම්වලට පාලනය දීලා තිබෙන නිසයි ගැටලුව. එහෙත් ගාල්ල දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය විදිහට අපි මේ ගැටලුව සාකච්ඡා කරලා තියෙන්නේ" යැයි හෙතෙම එහිදී ප්‍රකාශ කර සිටියේය.
කෙසේ වෙතත් ක්‍රීඩා අමාත්‍යාංශය හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම ගැටලුව සම්බන්ධයෙන් තවමත් ක්‍රියාත්මක වනුයේ ඇල්මැරුණු ස්වභාවයකිනි. ක්‍රිකට් නිසි බලධාරියා හෝ ක්‍රීඩා අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර දකුණු පළාත් ක්‍රිකට් සංගමයට ලැබිය යුතු වරප්‍රසාද ලබාදිය යුතු යැයි එහි සාමාජිකයෝ ඉල්ලා සිටිති.