අභියෝගය හා ත්‍රාසය එකට කැටි කරගත් කඳු තරණය ශ්‍රී ලංකාවේ එතරම් ජනප්‍රිය ක්‍රීඩාවක් නොවූවද ලෝක මට්ටමින් පවා එහි ශූරතාවන් පැවැත්වෙයි. මෙහි අභියෝගාත්මක බව නිසාම බොහෝ තරුණ පිරිස් මේ කරා යොමු වීම දැකිය හැකිය. නමුත් මෙහි ඇති භයානක බව නොදැන නිසි ආරක්ෂිත පියවර අනුගමනය නොකිරීම හේතුවෙන් සිය ජීවිතයෙන් පවා වන්දි ගෙවූවෝද බොහෝය. කඳු තරණයෙන් ලෝක මට්ටමේ දක්ෂතා පෙන්වූ ප්‍රංශ ජාතික ක්රීඩිකාවකටද පසුගියදා පුහුණුවීම් අතරතුරදී සිය ජීවිතය අහිමි වූයේ සමස්ත කඳු තරණ ක්‍රීඩා ලෝකයම හඬවමිනි.
ලූස් ඩවුඩි නම් 16 හැවිරිදි මෙම ක්‍රීඩිකාව ප්‍රංශයේ නැගී එන කඳු තරණය කරන්නියක ලෙසින් ප්‍රසිද්ධ අතර, ඇය එළඹෙන වසරේ පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියට සහභාගි වීමටද බලාපොරෝත්තුව සිටියාය. ඒ කඳු තරණ ක්‍රීඩාව එළඹෙන වසරේ ඔලිම්පික් තරගාවලියට ඇතුළත් කිරීමට ක්‍රියා කිරීමත් සමගිනි. එමෙන්ම ඇය පසුගිය වසරේ පැවැත්වූ යොවුන් කඳු තරණය කිරීමේ ලෝක ශූරිය ලෙසින් කිරුළු පැලඳීමටද සමත් වූවාය.
ලූස් සිය මිතුරන් පිරිසක් සමගින් සිය නිවස අසල වූ කඳු ගැටයක් මත පුහුණුවීමේ යෙදෙමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ කඳු බෑවුම් දෙකක් අතර තරණය කරමින් සිටියදී ලූස් එක්වරම ලිස්සා අඩි 150ක් පමණ පහතට ඇද වැටී ඇති බවයි.
ලූස්ගේ මරණයත් සමගින් අන්තර්ජාතික කඳු තරණ සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ මෙම සිදුවීම සිය සම්මේලනයටම ශෝකජනක පුවතක් වූ බවයි.
‘ලූස් යනු ප්‍රංශ කඳු නැගීමේ කණ්ඩායමේ හිටපු දක්ෂ යොවුන් ක්‍රීඩිකාවක් බවද ඔවුන් වැඩිදුරටත් පවසා සිටී.
පසුගිය වසරේ ඇය සිය කුළුඳුල් ජ්‍යෙෂ්ඨ ශූරතාව වූ ඇමෙරිකාවේදී පැවති ලෝක කුසලාන කඳු තරණ තරගාවලියට සහභාගි වූ අතර එහිදී ලූස් ගල්කුළු නැගීමේ ඉසව්වෙන් පස්වැනි ස්ථානය දිනා ගැනීමට සමත් වූවාය.
යොවුන් හැඩකාර යුවතියක් වූ ලූස්ගේ වියෝව ක්‍රීඩාවේ ඇති චමත්කාරය, අභියෝගය මෙන්ම ප්‍රවේශම සම්බන්ධයෙන්ද ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අවධානය යොමු කරවන්නක් බව විචාරකයෝ වැඩිදුරටත් පවසති.