පළමු තරගය පරාජය වූවත් හෙට ආරම්භ වන තරගයට යහපත් මානසික මට්ටමකින් මුහුණදීමේ සූදානමින් සිටින බව දිනේෂ් චන්දිමාල් පවසයි. ගාල්ලේදී ආරම්භ වන දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය පිළිබඳ අද (21දා) පැවැති මාධ්‍ය සාකච්ඡාකට එක්වෙමින් චන්දිමාල් මේ බව පවසා සිටියේය. වීඩියෝ තාක්ෂණය (Virtual Press Conference) ඔස්සේ පැවති මෙම සාකච්ඡාවේදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට අත්දැකීම් අඩුවීමද දිගින් දිගට අසාර්ථකවීමට හේතුවක් බවයි.
තවදුරටත් අදහස් දැක්වූ චන්දිමාල්,
‘පළමු තරගයේ පළමු දවසේ හැරෙන්න සෙසු දවස් හතරේ අපිට ඉතාමත් හොදින් ක්‍රීඩා කළා. ඒ නිසා හෙට තරගයට ඉතාමත් හොඳ සූදානමක් තියෙනවා. ඒ වගේම කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුවෙයි. කණ්ඩායමක් ලෙස හොදින් පුහුණුවීම් වුණා. හොද මානසික මට්ටමකින් ඉන්නවා තරගය සඳහා.
කණ්ඩායමේ සිදුවන වෙනස්කම් හා එක්වන ක්‍රීඩකයන් ගැන චන්දිමාල් දැක්වූයේ මෙවන් අදහසක්,
‘ගාල්ලේ තණතීරුව දඟපන්දු යවන්නන්ට යෝග්‍ය තණතිල්ලක්. ඒ නිසා පිතිකරුවන් හය දෙනෙක් සමගින් අංක හත ස්ථානයේ ක්‍රීඩාකරන දඟපන්දු යවන තුන්ඉරියව් ක්‍රීඩකයෙක් සහ නිත්‍ය පන්දු යවන්නන් සිවුදෙනෙක් ක්රීඩාකරවන්න බලාපොරොත්තු වෙනවා. කුසල් මෙන්ඩිස් ක්‍රීඩා නොකරන නිසා එම ස්ථානය බොහෝ දුරට ඔෂධ ප්‍රනාන්දුට හිමිවෙනවා. ඒ වගේම රමේෂ් මෙන්ඩිස් මේ තරගය ක්‍රීඩාකරන්න අවස්තාවක් තිබෙනවා. ඔහු පළමුපෙළ තරගවල හොදින් ක්‍රීඩාකර තිබෙනවා.
මීට අමතරව රොෂේන් සිල්වා සංචිතයේ ඉන්නවා. ඔහු ඉතාමත් හොද පිතිකරුවෙක්, විශේෂයෙන් ලංකාවේ තණතීරුවල හොදින් ක්‍රීඩාකරනවා. කෙසේ නමුත් එක් තරගයකින් පසු කණ්ඩායම තුළ ලොකු ලොකු වෙනස්කම් කරන්න අපහසුයි.
ශ්‍රී ලංකා කණ්ඩායම සිය රටේදීම අසාර්ථක වීම සම්බන්ධයෙන්ද මෙහිදී කරුණු විමසා සිටියේය,
‘සෑම කණ්ඩායමක්ම තමන්ගේ රටට ආවාම ටෙස්ට් තරග ජයග්‍රහණ කරනවා. කණ්ඩායමක් පළමුව කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ දේ. කෙසේ නමුත් අපේ කණ්ඩායමේ අත්දැකීම් දිහා බලපුවාම යම් තාක් දුරකට අඩුවක් තිබෙනවා. විශේෂයෙන් පන්දු යැවීමේදී. හැමෝම දන්නවා ඇඹුල්දෙනිය, වනිඳු වගේ පන්දු යවන්නන් ටෙස්ට් තරග කිහිපයයි ක්රීඩාකරලා තියෙන්නේ. ඔවුන් තව අවුරුදු දෙකක්, ටෙස්ට් තරග විස්සක් තිහක් ක්‍රීඩාකරන විට අපේ රටට තරග දිනවන්න පුළුවන් ක්‍රීඩකයන් ලෙස ඔවුන්ගේ හැකියාවන් දියුණු කරගනියි.
කෙසේ නමුත් කණ්ඩායමක් ලෙස අපි කණගාටු වෙනවා ශ්‍රී ලංකාවේදීම තරග පරාජය වීම ගැන. අපි බලාපොරොත්තුවෙනවා මේ තරගයේදී අපේ සැලැස්ම ක්රීඩාකරලා හොද ප්‍රතිඵලයක් අපේ කණ්ඩායමට පැත්තට ගන්න. ඒ වගේම තණතිල්ල, පසුගිය තරගයට වඩා පිතිකරුවන්ට යෝග්‍ය තණතිල්ලක් වගේ පෙනුනා.
ආබාධයකට ලක්ව සිටින දිමුත් කරුණාරත්න මෙම තරගයට ක්‍රීඩා නොකරන අතර, ඒ හේතුවෙන් චන්දිමාල් මෙම තරගයේදීද ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ලබයි.
ශ්‍රී ලංකාව පරාජය කිරීම ලේසි කටයුත්තක් නෙමෙයි - ජෝ රූට්
ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකාවේදී පරාජය කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බවත්, පළමු තරගයේදී දැක්වූ දක්ෂතා දෙවැනි තරගයේදීද දැක්වීමට සූදානම් බවත්, එංගලන්ත ටෙස්ට් නායක ජෝ රූට් පැවසීය. තරගයට පෙර අද (21දා) පැවති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව බැවසීය.
‘අපි දෙවැනි තරගයේදීත් පළමු තරගයේ පෙන්වූ දක්ෂතා නැවතත් පෙන්වීමට සූදානම්. විශේෂයෙන් පළමු තරගයේදී අපේ දඟපන්දු යවන්නන් දෙන්නා ඉතා හොඳින් දක්ෂතා දැක්වූවා.
‘ගාල්ල ක්‍රීඩාංගණය ගත්තොත් ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා හොද දක්ෂතා දක්වලා තියෙනවා. පළමු තරගයේ ඔවුන් පළමු ඉනිමේදී දැක්වූ දුර්වල පිතිකරණයට වෙනස් පිතිකරණයක් දෙවැනි ඉනිමේදී අපි දැක්කා. මේ වගේ තත්වයකදී ඔවුන්ගේ කඩුලු බිඳදැමීම අසීරු කටයුත්තක්. අපි දන්නවා අපිට ලේසි වෙන්නේ නෑ. නමුත් අපි ආත්ම විශ්වාසයකින් කටයුකු කරනවා. මම පළමු තරගයේදී දැක්වූ දක්ෂතා දක්වන්න උත්සාහ කරනවා. හෙට තරගයේදී තණතීරුවට හැඩගැසෙන එකත් අභියෝගයක්* යැයි හෙතෙම මෙහිදී පැවසීය.
සංජීව ධර්මසේන/ඕෂිත වරකපිටිය