නේදන් කෝල්ටර් නයිල්ගේ වේගවත් පිතිහරඹයත්, මිචෙල් ස්ටාක්ගේ ආක්‍රමණශීලී පන්දු යැවීමත් හේතුවෙන් මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී අඛණ්ඩව වාර්තා කළ දෙවැනි ජයග්‍රහණයට උරුමකම් කීමට ඔස්ට්‍රේලියාව සමත් විය. ඒ බ.ඉ. කොදෙව් කණ්ඩායම පරදා ලකුණු 15ක ජයක් වාර්තා කරමිනි. නොටිංහැම්හිදී ඊයේ පැවැති මෙය තරගාවලියේ දසවැනි තරගයයි.
කාසියේ වාසිය දිනා ගත් කොදෙව්වන්ගේ ඇරැයුමින් පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියානුවන් පන්දු වාර 49කදී සියල්ලන් දැවී ලකුණු 289ක් රැස් කළහ. කොදෙව් වේග පන්දු යවන්නන් හමුවේ ඔස්ට්‍රේලියානු ප්‍රබල මුල් පෙළ කඩුලු පහක් ලකුණු 79කට බිඳ වැටීම මෙහිදී විශේෂත්වයක් විය. කෙසේ නමුත් වගකීම් සහගත පිතිහරඹයක යෙදුණු ස්ටීවන් ස්මිත් සෙමින් සෙමින් ඉනිම ගොඩනගමින් ලකුණු 73ක් රැස් කළේය. ඔහුට ඉනිමේ අවසාන භාගයේදී මනා සහයක් ලබා දුන් නේදන් කෝල්ටර් නයිල් පන්දු 60කදී වේගවත් ලකුණු 92ක් රැස් කළේ සිය මංගල එක්දින අර්ධ ශතකය වාර්තා කරමිනි. පන්දු යැවීමෙන් කාලෝස් බ්‍රැත්වේට් කඩුලු තුනක් බිඳ හෙළීය.
ඒ අනුව ලකුණු 289ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය කොදෙව් ඉනිමේ ආරම්භක පිතිකරුවන් වූ ක්‍රිස් ගේල් හා එවින් ලුවිස් ලකුණු 31ක් වන විටදීම ක්‍රීඩාගාරයට හරවා යැවීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් වූහ. එහෙත් නිකලස් පූරන් හා එක්වූ ෂේ හෝප් තෙවැනි කඩුල්ලට ලකුණු 67ක් එක් කළේය. ඉවසිලිවන්ත පිතිකරණයකට යෙදුණු ෂේ හෝප් පන්දු 105කදී ලකුණු 68ක් රැස් කළේය. නිකලස් පූරන් පන්දු 36කදී වේගවත් ලකුණු 40ක් රැස් කළේය. කොදෙව් ඉනිමට නව ජීවයක් සැපයූ ජේසන් හෝල්ඩර් ලකුණු 51ක් රැස් කළේය. කෙසේ වෙතත් කොදෙව් ඉනිමේ අවසාන භාගයේදී පිතිකරුවන් සුපුරුදු ලෙස නොසැළකිලිමත් පහරවලට යොමුවීම කොදෙව් ඉනිමේ කඩා වැටීමට හේතුවිය. පන්දුවෙන් කොදෙව් ඉනිම විනාශ කළ මිචෙල් ස්ටාක් කඩුලු පහක් දවාලීය. ඔහු එක්දින තරගයකදී කඩුලු පහේ සීමාවට ළඟා වූ පස්වැනි අවස්ථාව මෙයයි. ඊට අමතරව ස්ටාක් මෙහිදී සිය එක්දින දිවියේ කඩුලු 150 සීමාව ඉක්මවීමටද සමත් වූ අතර ඔහු එම සීමාව ඉක්මවූයේ තරග 77කදීය.
කෙසේ වෙතත් තරගයේ වීරයා සම්මානය හිමි වූයේ පිත්තෙන් දස්කම් දැක්වූ නේදන් කෝල්ටර් නයිල්ටයි.
මෙම කණ්ඩායම් ද්විත්වය මීට පෙර එක්දින පිටියේදී අවසන් වරට මුණ ගැසී ඇත්තේ 2016 වර්ෂයේදී වන අතර අවසන් වරට දෙරට අතර පැවැති එක්දින තරග 11 න් 10 කම ජය හිමිවී ඇත්තේද ඔස්ට්‍රේලියාවටයි.
ලෝක කුසලාන ප්රවර්ථන ශූරයින් වූ ඔස්ට්‍රේලියාව මෙවර තරගාවලියේ සහභාගි වූ පළමු තරගයෙන් ඇෆ්ගනිස්තානය පරදා කඩුලු තුනක ජයක් හිමි කර ගැනීමට සමත් වූහ.