ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ සේවකයන් 40ක් ඉවත් කර ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 40ක් ඉතිරි කර ගැනීමට පියවර ගෙන ඇත. මෙහිදී රැකියාව අහිමිවූවන් අතරට පිතිකරණ පුහුණුකරු එංගලන්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩක ග්රැහැම් හික්ද ඇතුළත් බව වාර්තා වේ.
එමෙන්ම ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන්ගේ බෝනස්, පරිපාලන, සංචාරක, අලෙවිකරණ සහ වෙළෙඳ ප්‍රචාරණය ඇතුළුව අත්‍යවශ්‍ය නොවන සහ ක්‍රිකට් නොවන ක්‍රියාකාරකම්වල අයවැයද කප්පාදු කිරීමට ඔස්ට්‍රේලියානු වත්මන් ක්‍රිකට් පරිපාලනය තීරණය කර තිබේ. ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුමේ එක් කොටසක් ලෙස මෙම රැකියා 40 ඉවත් කිරීම සහ අනෙකුත් කප්පාදු කිරීම් සිදු කර ඇත.
2021 මුදල් වර්ෂය සඳහා ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් සංශෝධිත සැලැස්මට අනුව ජ්‍යෙෂ්ඨ පිරිමි සහ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට මෙන්ම ෂෙෆීල්ඩ් පලිහ, මාෂ් කුසලාන සහ බිග් බෑෂ් ලීගය ඇතුළු දේශීය ක්‍රිකට් ක්‍රීඩාවට කිසිදු බලපෑමක් සිදු නොවන බව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය ඊයේ (17දා) නිවේදනය කළේය. එහෙත් ජාතික ප්‍රිමියර් ක්‍රිකට් විස්සයි 20 තරගාවලිය සහ දෙවැනි පෙළ තරග තාවකාලිකව අත්හිටුවීමටද පියවර ගෙන තිබේ.
%කෝවිඩ්-19^ වසංගතය හේතුවෙන් දුර්වල වන ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආර්ථිකය යම් තරමකට හෝ ඔසවා තැබීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය උත්සහ කරන අතර, මෙම තත්ත්වය තාවකාලිකව ගත් පියවරක් බවද අවධාරණය කළේය.
මෙම ප්‍රතිව්‍යුහගත කිරීම සිදුකර ඇත්තේ ජ්‍යෙෂ්ඨ කණ්ඩායම්වල (පිරිමි සහ කාන්තා) මානසික සෞඛ්‍යයට සහ යහපැවැත්මට සහාය දැක්වීම ඇතුළු දූරදර්ශීව සම්පත් ලබා ගැනීම සහතික කිරීම සඳහා බවත්, බිග් බෑෂ් ජ්‍යෙෂ්ඨ පිරිමි සහ කාන්තා යන දෙවර්ගයටම අදාළ දේශීය තරගාවලි පවත්නා ආකෘතියෙන් අඛණ්ඩව පවත්වාගෙන යන බවත් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.
මෙම තීරණ ගනු ලැබුවේ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ අතුරු ප්‍රධාන විධායක නිලධාරී ලෙස නික් හොක්ලි වැඩ භාර ගැනීමෙන් දිනකට පසුවය. %කෝවිඩ්-19^ වසංගතයේ මූල්‍යමය පරිහානිය හසුරුවා ගැනීමට නොහැකි වීම නිසා වඩාත් කලකිරීමට පත්ව සිටි ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය හිටපු ප්‍රධාන විධායක නිලධාරී කෙවින් රොබට්ස් ඉවත් කිරීමටද පියවර ගත්තේය.