අධ්‍යාපනය නිසා ක්‍රීඩාවට තිත තබන්නෝ බොහෝය. නමුත් අධ්‍යාපනය කැප කරමින් ක්‍රීඩාවේ ස්ථාවරත්වයට ළඟා වූවන්, නැවතත් අධ්‍යාපනයේ උන්නතිය උදෙසා ක්‍රීඩාව අතහරින අවස්ථා බොහෝ විරලය. නමුත් ජපාන රග්බි ක්‍රීඩක කෙන්කි ෆුකුකොකා ඒ විරල මාර්ගය තෝරා ගත්තේ සිය ස්ථාවරත්වයට වඩා සිහිනයට ගමන් කිරීමේ මාර්ගය පෙන්වා දෙමිනි.
ජපාන ජාතික රග්බි කණ්ඩායමේ වින්ගර් ක්‍රීඩක ෆුකුඔකා සිය වෘත්තීය ක්‍රීඩා දිවියට තිත තැබීමට තීරණය කර ඇත්තේ වෛද්‍ය වෘත්තියට පිවිසීමේ බලාපොරොත්තුවෙන් වීම විශේෂත්වයකි.
ඒ අනුව එළඹෙන වර්ෂයේදී ජපානයේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සත්සාමාජික රග්බි අංශයෙන් කණ්ඩායම නියෝජනය කිරීමට තමන්ට බලාපොරොත්තුවක් නැතැයි ෆුකුඔකා විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත.
ජපාන රග්බි කණ්ඩායම පසුගිය වසරේදී ලොව වඩාත්ම කතාබහට ලක්වූ කණ්ඩායමක් වූයේ ඔවුන් එම වසරේ පැවැති ලෝක කුසලානයේදී දැක්වූ දක්ෂතා හේතුවෙනි. එම තරගාවලියේ සත්කාරකත්වය දැරූ ජපානය එහිදී අපරාජිත කණ්ඩායමක් ලෙසින් අර්ධ අවසන් පූර්ව වටය දක්වා පැමිණීමට සමත්වීම කැපී පෙනිණි. එහිදී එවකට ලොව අංක එකේ කණ්ඩායම වූ අයර්ලන්තයද පරාජය කිරීමට ඔවුහු සමත්වූහ. එවර ජපාන කණ්ඩායමේ ප්‍රධාන පුරුකක් වූ ෆුකුඔකා සමස්ත තරගාවලිය තුළදී උත්සාහක දිනුම් 04ක් වාර්තා කිරීමට සමත්විය.
එම තරගාවලියෙන් අනතුරුව ඔහු පහළොස් සාමාජික අංශයෙන් සමුගැනීමටද තීරණය කළේය. අනතුරුව සත්සාමාජික රග්බි අංශයට යොමුවූ ෆුකුඔකා එම අංශයෙන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ජපානය නියෝජනය කිරීමට මෙම වසරේදී බලාපොරොත්තුවෙන් සිටියේය. නමුත් %කෝවිඩ්-19^ වයිරසය නිසා ඔලිම්පික් උළෙල කල්යාම හේතුවෙන් ඔහුට එම අවස්ථාව අහිමිවී ගියේය.
කෙසේ වෙතත් 'කෝවිඩ්-19' වයිරසය ඔහුට නව බලාපොරොත්තුවක් ඇති කිරිමට සමත්වූ අතර, වෛද්‍ය වෘත්තිය කරා පිවිසීමට එය ඔහුට මාර්ගය පෙන්වා දුන්නේය.'කෝවිඩ්-19' හේතුවෙන් වෛද්‍ය වෘත්තියට පිවිසීමට තමන්ට තිබූ බලාපොරොත්තුව තව තවත් මුවහත් වූ බව ඔහු විදෙස් මාධ්‍ය වෙත පවසා සිටියේය.
'මට දැන් දුකක් නැතුව මගේ ආසාවට යන්න පුළුවන්. මට හිතෙන්නේ මේක තමයි ඒකට යන්න පුළුවන් ලේසිම මාර්ගය. මට දැන් මගේ පුහුණු කඳවුරු සඳහා කාලය වෙන් කරන්න පුළුවන්. ඒ වගේම මගේ ඉදිරි ගමන් මාර්ගය හා ඉගෙනීම් කටයුතු ගැන බලාගන්න පුළුවන්. සෞඛ්‍ය තමයි හැම වෙලාවේම අවශ්‍ය' යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙවර ජපාන සත්කාරකත්වය යටතේ ජපානයට ඔලිම්පික් පදක්කමක් දිනා ගැනීමේ වැඩි අවස්ථාවක් ඇති බව විචාරකයෝ පවසති. පසුගිය 2016 ඔලිම්පික් තරගාවලියට සත් සාමාජික රග්බි ක්‍රීඩාව ඇතුළත් වූයේ වසර 92ට පසුවය. එවර රන් පදක්කම ෆිජී රාජ්‍යය හිමිකර ගනිද්දී ජපානය සිව්වැනි ස්ථානය දිනා ගැනීමට සමත්විය.