එංගලන්ත වේගපන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව දෙවැනි එක්දින තරගයෙන් නොතිබූ ජයක් හිමිකර ගැනීමට එංගලන්තයට හැකි විය. ඒ අනුව තරග තුනකින් යුත් තරගාවලිය තරග 1-1ක් ලෙස සමකිරීමට ඔවුන්ට හැකි විය.
එංගලන්ත කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 231ක ඉලක්කයට පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාවට සියලු දෙනා දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 207ක් පමණි. ඒ අනුව එංගලන්තයට ලකුණු 24ක ජයක් හිමි විය. මෙහිදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය දෙසට තරගය රැගෙන යමින් සිටියදී මෙම පරාජය අත්විඳීමට සිදුවීම සුවිශේෂී විය.
ඉනිමේ තෙවැනි කඩුල්ල බිඳවැටෙන විටත් ඔස්ට්‍රේලියාවට රැස් කළ යුතුව තිබුණේ පන්දු 115කදී ලකුණු 88ක් පමණි. කෙසේ නමුත් තරගයේ 30වැනි පන්දුවාරයෙන් පසු හිස එසවීමට ඔස්ට්‍රේලියානු පිතිකරුවන්ට නොහැකි විය. පන්දුවාර කිහිපයකදී තරගය තමන්ගේ දෙසට දෝලනය කරගත් එංගලන්ත වේගපන්දු යවන්නෝ දිගු ඉනිම් ගොඩනැගිය හැකි මාකස් ස්ටොයිනිස් (9), මිචෙල් මාෂ් (1), ග්ලෙන් මැක්ස්වෙල් (1) ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට දවාගැනීමට සමත් විය.
මෙහිදී නායක ආරොන් ෆින්ච් (73) හා මානස් ලැබුෂේන් (48) මෙන්ම පසුපෙළ ශක්තිමත් කළ ඇලෙක්ස් කැරී (36) පිත්තෙන් දක්ෂතා දැක්වූවත්, තරගය නැවත ඔස්ට්‍රේලියාව දෙසට හරවා ගැනීමට ඔවුන්ට නොහැකි වූහ. එංගලන්තය වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරත වූ ක්‍රිස් වෝක්ස් (3/32), ජොෆ්රා ආචර් (3/34) හා සෑම් කරන් (3/35) කඩුලු 03 බැගින් දවා ගත්හ.
මැන්චෙස්ටර්හි දිවා රාත්‍රී තරගයක් ලෙස පෙරේදා (13දා) පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 50තුළදී ලකුණු 231/9ක් රැස් කිරීමට සමත් විය. නායක ඔයින් මෝගන් (42) හා ජෝ රූට් (39) ඉනිම ගොඩනැගීමට දායක වූ අතර, ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ඇඩම් සම්පා (3/36) පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වීය. තරගයේ වීරයා ලෙස ජෝෆ්රා ආචර් සම්මාන දිනා ගත්තේය.