පෝල් ස්ටර්ලිංගේ හා ඇන්ඩි බල්බ්රිනේගේ විශිෂ්ට ඉනිම් හේතුවෙන් ප්‍රබල එංගලන්ත කණ්ඩායම පරාජය කර තෙවැනි හා අවසන් එක්දින තරගයෙන් කඩුලු 07ක වාර්තාගත ජයක් ලැබීමට අයර්ලන්ත කණ්ඩායම සමත් විය. කෙසේ නමුත් තරගාවලිය තරග 2-1ක් ලෙස එංගලන්තය ජය ගත්තේය.
එංගලන්තයෙන් එල්ල වූ ලකුණු 328ක ඉලක්කයට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත කණ්ඩායම කඩුලු 03ක් දැවී තරගයේ 49 (49.3) වැනි පන්දුවාරයේදී එම ඉලක්කය පසුකර යාමට සමත් විය. ආරම්භක පිතිකරු පෝල් ස්ටර්ලිං සිය 09 වැනි එක්දින ශතකය වාර්තා කරමින් ලකුණු 142කින් ඉනිම සැරසීය. මීට අමතරව නායක ඇන්ඩි බල්බ්රිනේද ලකුණු 113ක් ඉනිමට එක්කළ අතර, එය ඔහුගේ 06 වැනි එක්දින ශතකය විය. ඔවුන් දෙදෙනා දෙවැනි කඩුල්ලට ලකුණු 214ක අගනා සබඳතාවක්ද පැවැත් වූහ.
මෙය අයර්ලන්තය ලකුණු හඹා ගොස් ජය ලැබූ ඉහළම ලකුණු සංඛ්‍යාව වන අතර, එංගලන්තයට එරෙහිව එරට තුළදී කණ්ඩායමක් ලකුණු හඹාගොස් ලැබූ ඉහළම ජයග්රහණයද වෙයි. මීට ඉහතදී 2002 වසරේදී ඉන්දියාව ලකුණු 326ක ඉලක්කයක් හඹාගොස් ජයගෙන තිබුණි.
දිවා රාත්‍රී තරගයක් ලෙස සවුත්හැම්ටන්හිදී පෙරේදා (04දා) පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර 49.5කදී සියලු දෙනා දැවී ලකුණු 328ක් රැස්කිරීමට සමත් විය. නායක ඔයින් මෝගන් ලකුණු 106ක් රැස්කළ අතර, එය ඔහුගේ 14 වැනි එක්දින ශතකය විය.
තරගයේ වීරයා ලෙස පෝල් ස්ටර්ලිං සම්මාන දිනාගත් අතර, තරගාවලියේ වීරයා සම්මානය තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දැක්වූ එංගලන්තයේ ඩේවිඩ් විලීට හිමිවිය. ඔහු තරග තුන තුළදී ලකුණු 51, නොදැවී 47, ලෙස පිත්තෙන් හා 1/70, 2/48, 5/30 ලෙස පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වූහ.
අයි.සී.සී. එක්දින ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීග් තරගාවලියේ ආරම්භක තරගාවලිය යටතේ මෙය පැවැති අතර, ඒ අනුව එංගලන්තය ලකුණු 20ක් හිමිකරගෙන ප්‍රසද ලකුණු සටහනේ පෙරමුණේ පසුවෙයි. ලකුණු 10ක් හිමිකරගත් අයර්ලන්තයට එහි දෙවැනි ස්ථානය හිමිව තිබේ. ශ්‍රී ලංකාව, ඉන්දියාව ඇතුළු රටවල් 13ක් අතර මෙම සුපර් ලීග් තරගාවලිය පැවැත්වේ.